“මැදමුලන වලව්වේ දඩ බල්ලා” ලෙස තමන් තමන්වම හඳුන්වා ගත් ජී.පී අමරසිරි හෙවත් ජුලම්පිටිය අමරේ නමින් කුප්‍රකට පුද්ගලයාට තංගල්ල මහාධිකරණය විසින් ලබා දී තිබූ මරණ දඬුවම අද (20) අභියාචනාධිකරණය විසින් තහවුරු කර තීන්දුවක් නිකුත් කරනු ලැබුවේය.
ජුම්පිටිය අමරේට තංගල්ල මහාධීකරණය මරණීය දණ්ඩනය නියම කරන්නේ කටුවන හැඩිවත්ත පින්නමණ්ඩිය ප්‍රදේශයේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට ප්‍රහාරයක් එල්ල කර වෙඩි තබා පුද්ගල ඝාතන දෙකක් සිදුකර තවත් පුද්ගලයෙකුට මරණීය තුවාල සිදුකිරීමේ අපරාධයට වරදකරු කරමිනි.
2012. 06.15 වැනිදා කටුවන හැඩිවත්ත ප්‍රදේශයේ ලියනගේ රන්ජිත් නැමැත්තාගේ නිවසේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමක වත්මන් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ඇමති නලින්ද ජයතිස්ස කතාවක් කරමින් සිටියදී ජුලම්පිටිය අමරේ ඇතුළු මැර කණ්ඩායමක් යතුරුපැදිවලින් එම රැළියට කඩා වැදී ටී.56 ගිනි අවියකින් වෙඩි තබා මෙම ඝාතන සිදුකර තිබිණි.
අමරේ වෙඩි තබා තිබුණේ ” යකෝ… මම තමයි මැදමුලන වලව්වේ දඩ බල්ලා… තොප් පුලුවන්නම් වරෙව්. කවුද මේක සංවිධානය කරපු උන්” යැයි පවසමිනි. වෙඩි වැදී 50 හැවිරිදි එදිරිමාන්නගේ මාලනී නැමැති මවක් ද ජේ.පී. නිමන්ත ග්‍රේෂන් නැමැති 18 හැවිරිදි තරුණයෙක් ද මිය ගොස් තිබිණි. බරපතල තුවාල ලැබුවේ 26 හැවිරිදි ප්‍රදීප් සාරංග නැමැති තරුණයෙකි.
2019.11. 07 වැනිදා මෙම තීන්දුව තංගල්ල මහාධිකරණය විසින් ලබා දෙන්නේ දීර්ඝ නඩු විභාගයකින් අනතුරුවය. එවකට තංගල්ල මහාධිකරණ විනිසුරුවරයා වූයේ ආර්.එස්.එස්. සපුවිද ය.
මෙම තීන්දුව ප්‍රකාශ කළ පසු ජුලම්පිටිය අමරේ විසින් අභියාචනාවක් ගොනු කරන්නේය. අමරේ එම අභියාචනාව ගොනු කරන්නේ තමන් වෙත මරණීය දණ්ඩනය නියමකරමින් තංගල්ල මහාධිකරණය නිකුත් කර ඇති තීන්දුව බල රහිත කර තමන් සියලුම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලමිනි.
ජුලම්පිටිය අමරේ විසින් ගොනු කළ අභියාචනාව විභාග කළේ අභියාචනාධිකරණ විනිසුරු සම්පත් බී අබේකෝන් හා පී.කුමාරරත්නම් ය. විනිසුරු මඩුල්ල අභියාචනාව ප්‍රතික්ෂේප කරමින් තංගල්ල මහාධිකරණය ජුලම්පිටිය අමරේට ලබාදුන් මරණ දඬුවම තහවුරු කරමින් තීන්දුව ලබා දුන්නේය.
හම්බන්තොට මහාධිකරණය විසින් නීතිපතිවරයා ගොනු කළ අධි චෝදනා 09කට ජුලම්පිටිය අමරේ වැරදිකරු කර තිබිණි. අභියාචනාධිකරණය කීවේ අපරාධය සම්බන්ධව අමරේට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ අධි චෝදනා 1 සිට 5 දක්වා වු චෝදනාවලට ඔහුව වරදකරු කර ඇත්තේ ඉදිරිපත් වු සාක්ෂි සහ සමස්ථයක් ලෙස නීතියේ මූලධර්ම මනසේ තබාගෙන ඒවා විශ්ලේෂණය කිරීමෙන් පසුව බව අභියාචනාධිකරණය පැවසුවේය.
එමෙන්ම විත්තකරු වරදකරු කර තිබුණු 06, 07, 08 සහ 09 යන චෝදනා හතරට තංගල්ල මහාධිකරණය නියම කර තිබූ දඬුවම් අත්හිටුවීමට ද අභියාචනාධිකරණය නියෝග කළේය.







