තමන්ගේ ජීවිතය ඇත්තේ අවදානමක බවත් ජීවිතයට යම් අනතුරක් සිදුවුවහොත් එහි වගකීම ජනාධිපතිවරයා සහ සාගල රත්නායක විසින් භාරගත යුතු බවත් ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ අද පාර්ලිමේන්තුවේ දී කීවේය.
තමන් අනාරක්ෂිත බව කී ඇමතිවරයා ජීවිත අවදානමක් සහිතව, කුඩු ටිකක්, සල්ලි ටිකක් දමා තමන් අත් අඩංගුවට ගැනීමේ අනාරක්ෂිත තත්ත්වයක් ඇති විට සාගල රත්නායක වාහන හතර පහක එස්.ටී.එෆ් ගාර්ඩ් පිට යන බව පැවසුවේය.
ජනාධිපතිවරයාම පාර්ලිමේන්තුවට පැමිණ තමන් පිළිබඳ වැරදි චිත්‍රයක් අධිකරණයට ඇති කළ බව කී ඇමතිවරයා ඊට සමගාමීව තමන්ගේ වාහන අංගන පරීක්ෂා කර හොර රහසේ ගෙන්වන ලද වාහන සම්බන්ධව අමූලික බොරු සමාජගත කිරීමට ඉඩ හරින බව කීවේය.
දැන් ජනාධිපතිවරයා කෝප වී සිටින ක්‍රිකට් සම්බන්ධව තමන් ගත් තීරණය ගත්තේ හදිසියෙන් නොව, කාලයක් තිස්සේ කරන ලද දැඩි අධීක්ෂණයකින් බවත්, ඒ සඳහා කළ විගණන කමිටු වාර්තාවලින් අන්ත දූෂිත හොරකම් හෙළි වී තිබිය දී හොරුන්ට දඩුවම් නොදී තමන් පසුපස ජනාධිපතිවරයා පන්නන්නේ කුමක් නිසා දැයි තමන්ට නොවැටහෙන බව ඇමතිවරයා පැවසුවේය.
මේ ජනාධිපතිවරයා 69 ලක්ෂයේ ජන වරමින් පත් කරගනු ලැබුවේ ඔහු ලද දේශපාලන අත්දැකීම් සම්භාරය මෙන්ම ඔහු ඉදිරිපත් කළ දූෂණය නිමා කිරීමේ තේමාපාඨය ද නිසා බව ඇමතිවරයා කීවේය.
එසේ පැමිණි ජනාධිපවරයා දැන් දූෂණයට එරෙහිව ක්‍රියාකළ තමන්ට පහර දෙන බවත්, . කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කරන්නට හැකි බවත් කී රොෂාන් රණසිංහ ඇමතිවරයා පලි නොගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.
“ මා හිතනවා මේක දේශපාලනයේ ඊරාවක් වෙන්න ඔන. ඒ දේශපාල ඊරාවේ මගේ ජීවිතය නැති වෙන්න පුලුවන්. මාව මහ මග මරා දමන්න පුලුවන්. ඒක හෙටද අදද අනිද්ද කියන එක දන්නේ නෑ. ඒකට ජනාධිපතිත් සාගල රත්නායකත් වග කියන්න වේවි. “
“මේවා හැන්සාඩ් එකේන් කපන්න එපා. හැබැයි මේ 134ක් ඡන්දය දුන්නේ එතුමාට ජනාධිපති වෙලා මේ විදිහට අපෙන් පලි ගන්න ද කියන ප්‍රශ්නය තියනවා.”
“සාගල රත්නායක කියන්නෙ මොකෙක් ද?. කැබිනට් නියෝගයක් ගහනවා කැබිනට් ඇමතිලා දන්නෙ නැතිව. ක්‍රීඩා පනතේ මට බලය දුන්නේ ක්‍රීඩා පනතින්. මම නැති අතරේ පනතේ තියන මගේ බලතලා කප්පාදු කරලා කැබිනට් ඇමතිවරුවත් දන්නේ නැතිව.”
මේ කැබිනට් පත්‍රයේ කියන්නේ පනතින් දීපු බලය පාවිච්චි කරලා අතුරු පාලක මණ්ඩල පත් කරන්න එපා කියලා. පත් කරනවා නම් කැබිනට් මණ්ඩල අනුමැතිය ගන්න කියලා. මේක ගත්තු විදිහ කොහොමද?.”
“ගිය සතියේ සඳුදා 3ට කැබිනට් මණ්ඩලයට ගියා. තුනේ ඉඳන් කැබිනට් එකේ හිටියා. හතර වැනියට අලි සබ්‍රි ඇමතිතුමා දැම්මා ක්‍රිකට් ගැන. සබ් කමිටි එකෙන් ඒකට අදාල ක්‍රියා මාර්ග ගන්නවා කිව්වා. මං හිතුවා ක්‍රිකට් ගැන කතා කරලා ඉවරයි කියලා. 4.20ට රාජ්‍ය තාන්ත්‍රික මුණගැසීමකට මා නැගිටලා ආවා .
මම දවස් හතරකට පස්සේ කැබිනට් තීරණයක් ගත්තා කියලා පත්‍රිකාවක් එනවා. ඒ මොහොතේ මම කැබිනට් මණ්ඩලයේ නෑ. එහෙම තීන්දුවක් ගත්තා කියලා කැබිනට් මණ්ඩලයේ හිටපු අය දන්නේත් නෑ. මේක වෙන්නේ කොහොම ද “
“ජනාධිපති එක්සත් ජාතීන්ගේ සංගමය ගිහින් කතා කරන්නේ දූෂණය නවත්වන්න. ඒ්ත් දූෂණයට එරෙහි වුන මාව කුඩු දාලා සල්ලි දාලා අත් අංගුවට ගන්න පුලුවන්.”
“සාගලට වාහන හතර පහ එස්.ටී.එෆ් ගාර්ඩ් දාගෙන යනකොට මට ආරක්ෂාවක් නෑ. දේශපාලන මැදිහත්වීම් විධායකයේ මැදිහත්වීම ගැන කණගාටු වෙනවා. “
ජනතාවගේ අයිතිය ආරක්ෂා කරන්න. මගේ ජීවත් විමේ අයිතිය ලබා දෙන්න. ජීවත්විමේ අයිතිය නිදහස ලබා දෙන්න.
“හැබැයි මේ ක්‍රිකට් දූෂණය නවත්වන්න ජනාධිපතිවරයා කටයුතු කරනවා නම් නව ජානධිපතිවරයක් පත් කරගෙන හරි අපි මේ දූෂණය වලක්වනවා. “ ඇමතිවරයා පැවසුවේය.