වැල්ලවත්ත මුහුදු තීරයේ කැපුම් තුවාල සහිව මියගොස් සිටියදී පසුගිය සෙනසුරාදා පොලිසියට හමුවුණු මාලදිවයින් ජාතික තරුණයාගේ මරණය සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා එරට පොලිස් කණ්ඩායමක් ලංකාවට යොමු කර ඇතැයි මාලදිවයින් පොලිස් කොමසාරිස් මොහොමඩ් හමීඩ් ප්‍රකාශ කර තිබේ.
ඒ එම මරණය සම්බන්ධව මෙරට පොලිසිය කරනු ලබන විමර්ශන සඳහා සහාය දැක්වීමටය.
පසුගිය සෙනසුරාදා වැල්ලවත්ත මුහුදු තීරයෙන් මළසිරුරු දෙකක් හමු වී තිබිණි. මළසිරුරු දෙක හමුවූයේ එකිනෙකට මීටර 300ක් පමණ දුරින් තිබියදී ය.
ඉන් එක් මළසිරුරක් ඊට පෙර දින අතුරුදහන් වූ අෆාන් නසීර් නැමැති විසි එක් හැවිරිදි තරුණයෙකුගේය. අෆ්හාම් නසීර්ගේ සිරුර ඔහුගේ පවුලේ අය විසින් හඳුනාගෙන තිබිණි.
ඔහු මෙරට පෞද්ගලික විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබමින් සිටි සිසුවෙකි.
21 හැවිරිදි අෆ්හාම් නසීර් උපත ලැබුවේ මාලදිවයිනේ මීරු දූපතේය. ඔහු පසුගිය සිකුරාදා ශ්‍රී ලංකාවේ පදිංචිව සිටියදී අතුරුදන් වූ බව වාර්තා වූ අතර පොලිසිය එදිනම සෝදිසි මෙහෙයුමක් දියත් කර තිබිණි.
ඒ සෝදිසි කිරීම් අතරතුර දෙහිවල වෙරළ ආසන්නයේ තිබී මළ සිරුරු දෙකක් සොයාගනු ලැබිනි. ඉන් එක් අයෙකු අෆ්හාම් නසීර් ය.
ඔහුගේ සිරුරේ කැපුම් තුවාල රැසක් දක්නට ලැබුණු බව මාධ්‍ය වාර්තා කළේය. ඔහුට නුදුරින් හමුවන අනෙක් මළ සිරුරේද කැපුම් තුවාල නිරීක්ෂණය වී ඇත. ඒ සිරුර අසලින් පිහියක් ද හමුවී තිබේ.
මාලදිවයින් ජාතිකයෙක් ශ්‍රී ලංකාවේදී සැක කටයුතු ලෙස මියයාම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන්ගේ අවධානය යොමුකර වී තිබිණි.
මෙම මරණය සම්බන්ධයෙන් දෙරටේම ප්‍රාදේශීය පොලිසිය එක්ව කටයුතු කරන බව මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍යාංශය මින් පෙර ප්‍රකාශ කළේය.