ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැචලේ විසින් සකස් කරන ලද සමාලෝචන වාර්තාව හෙට ශ්‍රී ලංකා රජය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව එක්සත් ජාතීන්ගේ රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කරයි.
ලබන පෙබරවාරි 28 වැනිදා පැවැත්වෙන මානව හිමිකම් සමුළුවට පෙර ශ්‍රී ලංකාව මහකොමසාරිස්වරියගේ කාර්යාලය විසින් සකස් කරන ලද වාර්තාවට ලබාදෙන විවරණයන් සහ ප්‍රතිචාර ලබා ගැනීමේ අරමුණින් එය හෙට දිනයේ ඉදිරිපත් කෙරෙනු ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම වාර්තාව සහ ඊට ප්‍රතිචාර පදනම් කර ගන්නා සංවාදය මාර්තු මස 3 වන දින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී පැවැත්වීමට නියමිතය.
මෙවර මේ සම්බන්ධයෙන් සාමාජික රටවල් අතර ඡන්ද විමසීමක් නොපැවැත්වෙන අතර එම ආරංචි මාර්ග සදහන් කරන්නේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අලුත් යෝජනාවලියක් ලබන සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන මානව හිමිකම් සැසිවාරයේදී ඉදිරිපත් කිරීමට නියමිත බව ය.