මානව හිමිකම් කවුන්සිලයේ 52 වැනි නිත්‍ය සැසිවාරය ඊයේ (27) ආරම්භ වීමත් සමග ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝණයට එරෙහිව විරෝධතා ව්‍යාපාරයක් ජිනීවාහි ප්‍රකට උද්ඝෝෂණ ස්ථානය වන බිඳුණු පුටුව අසල දී ආරම්භ වී තිබිණි.

දෙමළ ඩයස්පෝරාව විසින් සංවිධානය කර තිබූ මෙම විරෝධතා ව්‍යාපාරය යුද සමයේ සිදු වී ඇති බවට චෝදනා එල්ලවන මානව හිමිකම් කඩවීම් සඳහා පමණක් ලඝු කර තිබිණි.

පසුගිය වකවානුව පුරාම සිදු වූ දේශපාලන අත්තනෝමතික හැසිරීම සහ මානව හිමිකම් උල්ලංඝණය වීම, දූෂණය සහ ආර්ථික ඝාතන සම්බන්ධව මතුවන කාරණා සමග මෙවර මානව හිමිකම් සැසියේ දී ශ්‍රී ලංකාවට අසීරු අභියෝගයකට මුහුණ දීමට සිදුවනු ඇතැයි අන්තර්ජාතික තලයේ දී සංවාදයට ලක් වී ඇත.
මානව හිමිකම් කවුන්සිලයේ නිත්‍ය සැසිය ඊයේ (27) ආරම්භ වී අප්‍රේල් මස 04 දා තෙක් පැවැත්වෙනු ඇත.







