ප්‍රහසන නාට්‍ය ශිල්පිනී නතාෂා එදිරිසූරිය අත් අඩංගුවට ගැනීම සම්බන්ධව පැවති මාධ්‍ය හමුවක දී අධිකරණයට අපහාස කළැයි චෝදනා කරමින් සිංහල රාවය සංවිධානයේ නීතිඥවරයෙක් කල කරුණු දැක්වීමක් මත මාධ්‍යවේදි තරිඳු ජයවර්ධන ඇතුළු පිරිසක් සම්බන්ධයෙන් විමර්ශනයක් කරනලෙස කොළඹ කොටුව හිටපු මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ පරිගණක අපරාධ කොට්ඨාසයට කළ නියෝග දෙකක් අත්හිටුවන ලෙස අභියාචනාධිකරණය අද (30) නියෝග කළේය.
පෙත්සම සම්පත් බී අබේකෝන් සහ පී. කුමාරත්නම් යන අභියාචනාධිකරණ විනිසුරුවරුන් හමුවේ කැඳවනු ලැබුවේය.
මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය අත් හිටුවන ලෙස ඉල්ලමින් කොළඹ පළාත්බද මහාධිකරණයට ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට මහාධිකරණ විනිසුරු ඩඩ්ලියු පී එස් නිශ්ශංක කළ නියෝගය ප්‍රතිශෝධනය කරන ලෙස ඉල්ලමින් තරිඳු ජයවර්ධන ගොනුකළ පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත් කළ අභියාචනාධිකරණය මෙම නියෝගය ලබා දුන්නේය.
පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා, පරිගණක අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා, අන්තර්ජාල බුද්ධි කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබිණි.







