තුෂාරී කළුබෝවිල –
නිරිතදිග බෙංගාල බොක්ක සහ ඊට යාබද ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිත ව පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය වන බවත්, ඒ හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ වැසි ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
නැගෙනහිර, උතුරු මැද, ඌව පළාත්වල සහ මාතලේ දිස්ත්‍රික්කයට අධික වැසි ඇති වන අතර දිවයිනේ සෙසු ප්‍රදේශවලට සවස හා රාත්‍රී කාලයේ වැසි ඇති වේ.
මෙම වායු ගෝලීය පීඩන පද්ධතිය මාර්තු 4 සහ 5 දිනවල නැගෙනහිර වෙරළ ආසන්නයෙන් ගමන් කරන හෙයින් දිවයිනට බලපාන වැසි තත්ත්වය තවදුරටත් ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දිවයින වටා මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ.







