ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස කේ.එම්.එම්. සිරිවර්ධන පත් කර තිබේ.
ඊට අදාළ පත්වීම් ලිපි අද (07) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් භාර දුන් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.
මූල්‍ය ක්ෂේත්රයේ හසළ අත්දැකීමක් ඇති ආචාර්ය වීරසිංහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විකල්ප විධායක අධ්යක්ෂ, ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ අධ්යක්ෂ, සහකාර අධිපති සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති යන ධුර හොබවා ඇත.
නන්දලාල් වීරසිංහ කොළඹ විශ්වවිද්‍යාලයේ, ආර්ථික විද්‍යා පශ්චාත් උපාධිය සඳහා බාහිර කථිකාචාර්යවරයෙකු සහ මැලේසියාවේ සියසන් මධ්‍යස්ථානයේ බාහිර පර්යේෂණ අර්ථ ශාස්ත්රඥයෙකු ලෙස ද කටයුතු කර ඇත.
ඔහු ඕස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාලයේ ක්‍රෝෆර්ඩ් හි මහජන ප්‍රතිපත්ති හා ව්‍යවහාරික සාර්ව ආර්ථික විශ්ලේෂණ මධ්‍යස්ථානයේ උපදේශක මණ්ඩලයේ සාමාජිකයෙකු ද වේ.
මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසට පත්වූ කේ.එම්.එම්. සිරිවර්ධන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය සහ භූතානය යන රටවල් සඳහා විකල්ප විධායක අධ්යක්ෂවරයා ලෙස කටයුතු කළ විද්වතෙකි. මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයා ලෙසත් ජාතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්යක්ෂ ජනරාල්වරයා ලෙසත් ඔහු කටයුතු කර ඇත.