ලලිත් චාමින්ද –
දකුණේ ATM යන්ත්‍ර කඩා බැංකු කොල්ලය සිදුකර ඇත්තේ විදේශිය සුදු ජාතිකයින් දෙදෙනෙක් බවත්, මෙම කොල්ලය සඳහා ඔවුන් කළු පැහැති කාර් රථයයකින් පැමිණ ඇති බවත් විමර්ශන අංශ කියයි.
ඊයේ අලුයම පැය තුනක් තුළ මෙම බැංකු කොල්ලය අදාල විදේශිකයින් දෙදෙනා විසින් සිදුකර ඇති බව මේ වනවිට සිදුකරන විමර්ශනවල දී හෙළි වී ඇත.
එම කාර් රථයේ රියදුරු සහ තවත් පුද්ගලයෙක් සිට ඇති බව CCTV දර්ශනවලින් පැහැදිලිවී තිබේ.
පොලිස් මූලස්ථානය වාර්තා කරන පරිදි ඊයේ අලුයම දී රුපියල් කෝටියකට අධික මුදලක් මෙම විදේශිකයින් දෙදෙනා විසින් හික්කඩුව, කරාපිටිය, බද්දේගම නගරවල මහජන බැංකු ATM කඩා පැහැරගෙන තිබිණි.
ඔවුන් මේ කොල්ලය සඳහා තාක්ෂණය භාවිතා කර ඇති බවත් ATM යන්ත්‍ර හා සම්බන්ධ පරිගණක දත්ත පද්ධතියට ඇතුළු වී මෙම කොල්ලය සිදුකර ඇති බවත් අද උදේ පොලිස් මූලස්ථානය වාර්තා කළේය.
මෙම සුදු ජාතික විදේශිකයින් දෙදෙනා මුලින් හික්කඩුව නගරයේ පිහිටි මහජන බැංකුවේ ATM යන්ත්‍රයට ප්‍රහාරය එල්ල කර ඇත්තේ මහ අලුයම 1.30ට පමණය. එහි තිබු සි.සි. ටි. වි කැමරාව වසා දමා රුපියල් හතලිස් හයලක්ෂ අසුදහසක මුදලක් පැහැර ගෙන තිබේ.
අනතුරුව ඔවුන් ගාල්ල කරාපිටිය නගරයේ පිහිටි මහජන බැංකු ATM යන්ත්‍රය වෙත පැමිණ ඇත. එතැනට පැමිණ ඇත්තේ අලුයම 3.22ට ය. එහිදී ඔවුන් රුපියල් දෙලක්ෂ හැත්තෑපන් දහසක් කොල්ල කා ඇත.
මේ පුද්ගලයින් දෙදෙනා මුදල් ලබාගෙන ඉංග්‍රිසි බසින් කථාකර නැවත පිටවගොස් පසුව නැවත ATM කුටිය වෙත පැමිණ අමතක වු දෙයක් ලබාගෙන යන අයුරින් පිටව ගොස් ඇත.
එහි සිටි ආරක්ෂක නිලධාරියාට මේ සම්බන්ධයෙන් ඇති වු සැකය මත ATM කුටිය පරික්ෂාකර බැලිමේ දි ආරක්ෂක කුටියේ තිබු CCTV කැමරා පද්ධතිය කළු පැහැති කවර යොදා ආවරණය කර ඇති බව දැක ඇත.
මෙම විදේශිකයින් දෙදෙනා බද්දේගම නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවට අයත් ATM යන්ත්‍රය ඇති කුටිය වෙත පැමිණ ඇත්තේ අලුයම 4.00ට පමණය. එහිදී රුපියල් ලක්ෂ 57ක මුදලක් ඔවුන් විසින් කොල්ල කා ඇත.
මීට දින දෙකකට පෙර නාරාහේන්පිට රාජ්‍ය බැංකුවක ATM යන්ත්‍රයකට සුදු ජාතිකයින් දෙදනෙක් ප්‍රහාරයක් එල්ල කරන ආකාරය CCTV දර්ශනවල සටහන්ව තිබිනි.
මේ පිළිබද පරිඝණක අපරාධ විමර්ශන අංශය හා අපරාධ විමර්ශන අංශය එක්ව විශේෂ පරික්ෂයක් ආරම්භකොට ඇත.