ඉන්දීය ගුවන් හමුදාවේ, සේවයට එක් වූ එරට පළමු මුස්ලිම් ප්‍රහාරක ගුවන් නියමුවරිය සේම ප්‍රාන්තයේ පළමු ප්‍රහාරක නියමුවරිය වීමටත් මිර්සාපූර් හි ජසෝවාර් ගම්මානයේ පදිංචි සානියා මිර්සා සමත් වී තිබේ.
ඇගේ පියා වන ෂාහිඩ් අලි මිර්සාපූර් හි රූපවාහිනී කාර්මිකයෙකු ලෙස සේවය කරන අතර ‘ඒඑන්අයි’ පුවත් සේවය සමඟ අදහස් දක්වමින් පැවසුවේ, සානියා මිර්සා තම ආදර්ශය ලෙස සලකන්නේ රටේ ප්‍රථම ප්‍රහාරක ගුවන් නියමුවරිය වන අව්නි චතුර්වේදිව බවයි. මිර්සාට කුඩා අවදියේ සිටම අව්නි මෙන් වීමට අවශ්‍ය වූ බවත් ඇය බොහෝ සේ කැපවී ඇගේ සිහිනය සැබෑ කර ගත් බව ඔහු පැවසීය.
“අපේ දුව අපිට වගේම මුළු ගමටම ආඩම්බරයක් ගෙන දුන්නා. ඇය ප්‍රාන්තයේ ප්‍රථම ප්‍රහාරක ගුවන් නියමුවරිය වීමේ සිහිනය සැබෑ කරගත්තා. ඇය ගමේ සෑම ගැහැණු ළමයෙකුටම ඔවුන්ගේ සිහින අනුගමනය කිරීමට පෙළඹවූවා..” ඇගේ මව පවසන්නීය.
සානියා සිය ප්‍රාථමික අධ්‍යාපනය හැදෑරුවේ හින්දි මාධ්‍ය පාසලකය. ඇය සිය උසස් පාසල වන පණ්ඩිත් චින්තාමනී ඩුබේ අන්තර් විද්‍යාලයේදී ප්‍රහාරක ගුවන් නියමුවරයෙකු වීමේ සිහිනයට පළමු පියවර තැබුවාය. උසස් අධ්‍යාපනය අවසන් වූ පසු ඇය සෙන්චූරියන් ආරක්ෂක ඇකඩමිය හා සම්බන්ධ වී වැඩිදුරට අධ්‍යාපනයට යොමු විය.
ජාතික ආරක්ෂක ඇකඩමි 2022 විභාගයේදී පිරිමි සහ කාන්තා ඇතුළුව ආසන 400 ක් තිබුණි. කාන්තාවන් සඳහා ආසන 19 ක් තිබූ අතර ප්‍රහාරක ගුවන් නියමුවන් සඳහා ආසන දෙකක් පමණක් වෙන් කර තිබුණි. මේ ආසන දෙකෙන් එකක් හිමි කර ගැනීමට සානියා මිර්සා සමත් වූයේ සිය සිහිනය සැබෑවක් කර ගනිමිනි.