මහින්ද සුළගේ උරුමක්කාරයා තමන් බව විමල් වීරවංශ නිතර කියන කතාවකි. 2015 වසරේ ජනාධිපතිවරණයෙන් පැරදී තංගල්ලට වී රටේ මහින්ද ප්‍රේමීන්ගේ වන්දනය ලබමින් සිටි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා තුළ පවතින “කැරිස්මාව“ හා ජන ආකර්ෂණය මැනවින් හඳුනාත් විමල් ඒ සවේදනය ඉදිරියේ තම දේශපාලන බල වපසරිය පුළුල් කර ගැනීම සඳහා සූක්ෂම ව භාවිත කරන්නට යොදා ගත් දේශපාලන ප්‍රවර්ධන සන්නාමය වූයේ මහින්ද සුළඟයි. මහින්ද සුළඟ ඔහු ගෙනාවත් නොගෙනාවත් මේ සුළඟට දිය යුතු ජවය දීමේ ඉවක් විමල්ට තිබූ බව අප පිළිගත යුතුය.
කොහොම වුණත් එදා විමල් වීවරවංශලා කරකැවූ මහින්ද සුළඟ නොවන්නට අදටත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මෙරට ඉතිහාසයේ තීරණාත්මක කාර්යයක් කළ ජනාධිපතිවරයකු ලෙස වන්දනයට ලක් වෙමින් ජීවත් වන්නට ඉඩ තිබුණි. එහෙත් මේ මහින්ද සුළඟ අන්තිමේදි සුළි සුළඟක් බවට පත්ව මහින්ද රාජපක්ෂට දවස් ගණනාවක් ජීවිතය බේරා ගන්නට ත්‍රිකුණාමලයේ නාවික කඳවුරක සැඟවී සිටින්නට සිදුවන තරමට දරුණු විය.
චීන – ඉන්දියා හබය මැද අපි
කොහොම වුණත් මේ මහින්ද සුළඟට පමණක් නොව ශ්‍රිී ලංකාව අද පෙළන දැවැන්ත ආර්ථික අර්බුදයේ එක් තීරණාත්මක කොටස්කරුවකු ව සිටින “චීන සුළඟ“ද මේ රට තුළ කරකැවීමට විමල් වීරවංශලා “රූංපෙති“ වී කෙතරම් කාර්යයක් කර අත්දැයි තේරුණේ පසුගියදා ආන්දෝලනාත්මක චීන යුධ නැව (Yuan Wang 5) සම්බන්ධ ප්‍රශ්නය රට තුළ පත්තු වූ අවස්ථාවේදීය.
මේ නැව් අර්බුදය සැබැවින්ම අපට අදාළ වන එකක් නොව කලාපය තුළ ප්‍රශ්නයකි. මේ ප්‍රශ්නයට සෘජුවම බලපෑම් එල්ල වුයේ අසල්වැසි ඉන්දියාවටය. ශ්‍රී ලංකාව පත්ව සිටි ආර්ථික අර්බුදයත් එය හමුවේ ඉන්දියාව ශ්‍රි ලංකාව වෙනුවෙන් සිදු කළ මැදිහත් වීමත් නිසා චීනයේ මහජන රතු හමුදාවට අයත් චන්ද්‍රිකා නිරීක්ෂණය කිරීමේ සහ බැලස්ටික් මිසයිල් ලුහු බැඳීමේ හැකියාවෙන් යුතු අධි තාක්ෂණික නැව් පන්තියෙන් එකක් වන යුවාන් වෑන්ග් 05 නෞකාව ශ්‍රි ලංකාවේ හම්බන්තොට වරායට පැමීණීම ඉන්දියාව කලබලයට පත් කරවන හේතුවක් විය.
මේ තත්ත්වය ශ්‍රි ලංකාවට සමතුලනය කිරීම අපහසු කාර්යයකි. එයට හේතුව පසුගිය කාලය තුළ සිදු වූ දැවැන්ත ඉන්දියානු මැදිහත්වීමයි. අසල්වැසියාට පළමුව පදනම යටතේ ඉන්දියාව එකී මැදිහත්වීමක් සිදු නොකළේ නම් අඩුම ගණනේ අත්‍යවශ්‍යම කටයුතුවලට වුවමනා කරන ඉන්ධන ටිකවත් අපට ලැබෙන්නේ නැත. ඖෂධ ගන්නට හැකියාවක් ලැබෙන්නේ නැත. ඉන්දියාව හදිසියේ නැව් දෙකකින් කොවිඩ් සමයේ ඔක්සිජන් නොගෙනාවා නම් අපට කොවිඩ් හේතුවෙන් නිර්මාණය වූ දැවැන්ත ඔක්සිජන් අර්බුදය හමුවේ මේ රටේ කොවඩ් රෝගීන්ට සිය හුස්ම රැක ගන්නට ලැබෙන්නේ ද නැත.
ඉන්දියාව ශ්‍රි ලංකාව තුළ සිදු කරන මේ ක්‍රියාවලින් තුළ යම් ක්‍රමොපායියක බවක් සහ න්‍යාය පත්‍රයක් නැතැයි අපට කිව නෙහැකිය. එහෙත් මේ බලපෑම සමඟ චීනයත් සමතුලනය කිරීමේදී මෑත කාලීන චීන හැසිරීම ගැටලුවක් බවට පත්ව තිබුණි.
එවැනි පසුබිමක රජයට මේ රටවල් දෙක තුලනය කිරීම යම් අභියෝගාත්මක කාර්යයකි. එය එකිනෙකාට වෛර කරන අසල්වැසියන් දෙදෙනකු අපේ නිවස ට පැමිණි විට ඔවුන් දෙදෙනාට සැලකීමේදී මේ මිතුරු අසල්වැසියන්ගෙන් මේ මොහොතේ සමීපව සිටින අසල්වැසියාට අඩුපාඩුවක් නොදැනෙන ලෙස දෙදෙනාටම අමනාප නොවන පරිද්දෙන් සත්කාර සම්මාන කිරීමේ යම් අසීරු අභියෝගාත්මක අත්දැකීමකට අපට මුහුණ දෙන්නට සිදුවන්නාක් මෙනි.

චීන සුළඟේ කැරකුන රූංපෙත්ත
කෙසේ වුවද මහින්ද සුළඟ ට පණ පෙවූ බව කියන විමල් වීරවංශ යුවාන් වෑන්ග් 5 නැව මුහුදේ තිබියදදීම රට තුළ චීන සුළඟක් ක්‍රියාත්මක කර නැවට තල්ලුවක් දැමීමට ක්‍රියාත්මක වූ ආකාරය රටට දැක ගත හැකිවිය. එසේම රජයේ අවසරය මත ශ්‍රි ලංකාවට පැමිණි නැව හම්බන්තොට වරායට පැමිණි පසුව චීනය පිළිබඳව දැවැන්ත ගුණ ගායනාවක් ද කළේය. ඔහු කීවේ චීනයට කිසිදාක ශ්‍රි ලංකාව ඇල්ලීමට අවශ්‍යතාවක් නොවූ බවය. ඔහු චීනය කළ උදව් ගැනද කීවේය. චීනයේ හොඳ ද බොහේ සෙයින් වර්ණනා කළේය. ඒ කී කතා තුළ සත්‍ය කරුණුද ගැබ්බ්ව ඇති බව පිළිගත යුතුය. විශේෂයෙන් කොටි ත්‍රස්තවාදින්ගෙන් ශ්‍රි ලංකාව මුදවා ගැනීමේ සටනේදී චීනය අපට ආධාර කළේ බටහිර රටවල් කකුලෙන් අදිද්දීය.
එහෙත් ඊට සමගාමීව මේ ප්‍රශ්නයේ අනෙක් කෙළවර සිටින ඉන්දියාවද අවසන් අවස්තාවේ අපට උදව් උපකාර කළේය. එයද තීරණාත්මක විය. මේ බව විමල් වීවංශගේ දේශපාලන ගමන් සගයකු වූද ඔහු නිර්මාණය කළ බව කියන මහින්ද සුළඟෙන් ලොකුම වැඩේ ගත් පොදු ජන පෙරමුණේ නිර්මාතෘවරයා වූද , විමල් වීරවංශ කියන ශ්‍රි ලකාවේ ලී ක්වාන් යූගේ මහතීර් මොහොමඩ්ගේ කනිටු සහෝදරයා වූද බැසිල් රෝහණ රාජපක්ෂ මේ ගැන හොඳින් දනී.
චීන මැදිහත්වීම්
එහෙත් ගැටලුව ඔහු “චීනය හොඳායි“ කීවාට මෑත කාලීන ක්‍රියාකාරකම් ගැන බැලූ විට කියන තරම් හොඳම නැති බවද පෙනීමය. මෙහිද විශේෂයෙන් වැදගත් වන්නේ මෑත කාලීන චීන දේශපාලනය තුළ ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් සිදු කරන ද රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම් ය. එය හුදෙක් ශ්‍රි ලංකාව ඉලක්ක කර ගත් එකක්ම නොව ඔවුන්ගේ ෂී ජින් පින් රජය විසින් දියත් කරන ලද එක් තීරයක් එක් මාවතක් දැක්ම යටතේ සිය ආර්ථික සහ දේශපාලන බල ව්‍යාප්තිය සඳහා චීනයට දැක්මක් ඇත.ඒ තුළ ඔවුන් එක් එක් රටවලට අනන්‍ය වූ ප්‍රශ්න පිළිබඳව තකන්නේ නැත.
සීමාවකින් තොරව සිදු කරන මූල්‍ය පහසුකම් හරහා චීනය සිය ග්‍රහණයට රටවල් ගන්නා ආකාරය පිළිබද ව ලෝකයේ සිද්ධි අධ්‍යයනයට (Case studies) ගන්නා ප්‍රධාන උදාහරණයක් බවට අද ශ්‍රි ලංකාව පත්ව ඇත. මෙතෙක් අපට ඒ වෙනුවෙන් ලබා දෙන්නට සිදුව ඇත්තේ යුවාන් වෑන්ග් 5 නැවට නැංගුරම් ලෑමට ඉඩ ලැබුණු හම්බන්තොට වරාය පමණි.
මේ වනවිට ශ්‍රි ලංකාව ද්වි පාර්ශ්විකව ණය ලබා ගත් රටවල් අතර මුලින්ම සිටින්නේ චීනයයි. ඒ තරමට චීනය ශ්‍රි ලංකාවට ණය ආධාර ලබා දී ඇත. ඒ ණය ලබා දීමේදි මෙන්ම මෙම ණය ලබා ගැනීමේදිද ශ්‍රි ලංකාව හෝ චීනය මූල්‍ය විනය පිළිබඳව හෝ ණය ලබාගෙන සිදු කරන ව්‍යාපෘතියේ ශක්‍යතාවන් සහ ආර්ථික විභවය පිළිබඳ කිසිදු මායිමක් කළේ නැත. දූෂණයට වංචාවට අවශ්‍ය සියලු ඉඩ මේ තුළ නිර්මාණය වන ආකාරයට ගනුදෙනු තීන්දු විය.

මේ තත්ත්වය හමුවේ සිදුවූයේ රට ණය උගුලක සිරවීමය. ඔවුන්ගේ අවශ්‍යතා සේම කලාපීය බල ව්‍යාප්තියේ දැවැන්ත පුරුකක් බවට ශ්‍රි ලංකාව භාවිත කිරීමය. මේ වනවිටත් මේ උගුලේ අප කෙතරම් සිරවී ඇද්ද යන්න පිළිබඳව හොඳම නිදසුන මේ යුවාන් වෑන්ග් 5 නැවයි. මේ නෞකාවට පැමිණීමට අවසරය ලබා නොදුන්නේ නම් ශ්‍රි ලංකාව ව ලොකු අසරණ කමකට තල්ලු කිරීමේ යතුර චිනය සතුය. ඒ ඉදිරියේ බලාපොරොත්තු වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ආධාරය ලබා ගැනීමට සපුරාලිය යුතු පූර්ව කොන්දෙසියක් වන ණය ප්‍රතිව්‍යූහත කරණයට චීනය එකඟ නොවේද යන ගැටලුවයි. එසේ වුවහොක් ශ්‍රි ලංකාවට ලේසියෙන් ගොඩ යන්නට සිදුවන්නේ නැත.
ඒ වෙනුවට සිදුවන්නේ චීනයෙන් ලැබෙන ණය හෝ වෙනවත් ආධාර මත යළිත් දූෂණ වංචා සහිත මංකොල්ලකාරී ආර්ථික රටාවක් හමුවේ රට තවත් බුන්වත් වීමය. එය එසේ නොවන්නේ යයි විමල් වීරවංශලාට දිය හැකි සහතිකයක් නැත.
අනෙක විමල් වීරවංශලාගේ දේශපාලනය කවදත් පැවතුණේ චීනයට ආවඩන ඉන්දියාවට විරෝධය දක්වන ස්වභාවයකය. එයට හේතුව මා ඕ සේතුංගේ හෝ ෂි ජන් පින් ගේ දේශපාලන දහම ගැන වැඩි විශ්වාසයක් තබා එය ඇදහීමද නැත්නම් වෙනත් හේතුවක්ද යන්න පිළිබඳව අපට පෙන්වන්නට සාධකයක් නැත.
කෙසේ වුවද ශ්‍රි ලකාව තුළ විමල් වීරවංශලාගේ දේශපාලනයේ කැපී පෙනෙන් ලකුණක් වන්නේ සිංහල බෞද්ධකමයි. ඉස්ලාම් අන්තවාදයට එරෙහි විරෝධයද මහින්ද සුළඟ කරකැවූ විමල්ලාගේ තවත් ශක්තිමක් දේශපාලන උපකාරක කඹයකි.
එහෙත් චීනය මේ වනවිට ටිබේටි රාජ්‍යෙය් බෞද්ධ විරෝධි ක්‍රියාකාරකම් රැසකට සම්බන්ධ වී සිටින බවට බෞද්ධ ලෝකය තුළ විශාල විරෝධයක් පවතී. ටිබෙට් බෞද්ධ භික්ෂූන්ට සහ බෞද්ධ ජනතාවට යම් යම් තාඩන පිඩන සිදු කිරීමේ සිට බුද්ධ ප්‍රතිමා බිමට සමතලා කිරීමේ “තලේබාන් පන්නයේ ක්‍රම ඔවුන් අනුගමනය කරන බවට මේ වනවිට චෝදනා එල්ල වී ඇත.
අනෙක් අතින් සිය එක් තීරයත් එක් මාවතක් ව්‍යාප්තිය ඇෆ්ගනිස්ථානය තුළද ස්ථාපනය කිරීමේ අරමුණින් ඔවුන් අන්තවාදී තලේබාන් ත්‍රස්තයින් ට සහ ඔවුන් ගේ පාලනයට උදව් උපකාර කරන තත්ත්වයට අද පත්ව ඇත.
විමල් වීරවිංහ අමාත්‍යවරයා පමණක් නොව අතුරලියේ රතන හිමියන්, වාසුදේව නානායක්කාර, සරත් විරසේකර වැනි දේශපාලනඥයන් කිහිප දෙනකුම චීන නැව පිළිගැනීමට චීන තානාපති කාර්යාලය සංවිධානය කර තිබූ උත්සවයේ විශේෂ ආරාධිතයෝ වූහ. මෙලෙස තෝරා ගත් දේශපාලකයන් පිරිසකට චීන තානාපතිවරයා ප්‍රමුඛ චීන රජය ආරාධනය කළේ ඇයිද යන්න කාටත් වටහා ගත හැකි යතාර්ථයකි. ප්‍රශ්නය ඇත්තේ විමල් වීරවංශලා ගේ බිම්ගත දේශපාලන භාවිතාව මෙහෙයවන්නේ වෙනත් න්‍යාය පත්‍රයකටද යන්න පැහැදිලි කර ගැනීමය.
භූ ගෝලීය වශයෙන් අතිශයින්ම වැදගත් මර්මස්ථානයක තිබෙන ශ්‍රි ලංකාවේ දේශපාලකයන්ද විශේෂයෙන් දේශපාලන පක්ෂ නායකයන් නිසි අවබෝධයෙන් අදාළ තත්ත්ව කළමනාකරණය කිරීමට කටයුතු කළ යුතුය. විශේෂයෙන් කලාපය තුළ පවතින ප්‍රසිද්ධ බල අරගල තුළ ඔවුන් යම් යම් රටවල් නියෝජනය කිරිමට යාම ඔවුන් නියෝජනය කරන දේශපාලන ප්‍රවාහයන්ට පවා ප්‍රශ්නයකි.
මේ තත්ත්වය ඔවුන් මෙන්ම රටේ ජනතාවද තේරුම් ගත යුතුය. අද හෝ හෙට චීන නැව යනු ඇත. තවත් මොකක් හො ගුණ්ඩුවක් අපට එවනු ඇත. මේ ක්‍රියාකාරකම් මැද එක් එක් න්‍යාය පත්‍ර මැද දේශපාලන රූකඩ මොනවා කළත් ඒ කරන්නේ කුමක්ද යන්න නුවණින් කියවා ගැනීමට ජනතාව සූක්ෂම විය යුතුය.







