ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මෙන්ම කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති තනතුර දරණ මහාචාර්ය වජිර දිසානායක එම තනතුරු දරන අතරම ලංකා වෛද්‍ය විද්‍යාල සභාවේ රේජිස්ට්‍රාර් තනතුර වසර තුනක කාලයක් පුරා දරමින් සිටින බවත්, පසුගිය මැයි 2 දා එම කාලය අවසන් වීමත් සමඟම නැවත එම තනතුරට පත්වීමේ සූදානමක් පවතින බවත් සෞඛ්‍ය අමාත්‍යංශය ආරංචි මාර්ග සඳහන් කරයි.
නැවත රෙජිස්ට්‍රාර් තනතුරට පත්වීම සඳහා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගේ මගපෙන්වීම මත මේ වනවිට ඔහු සෞඛ්‍ය ඇමති වෛද්‍ය නලින් ද ජයතිස්ස මුණගැසීමේ ප්රයත්නය යෙදී සිටින බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කරයි.
වැටුප් සහ සියලුම දිමනා සහිත මෙම රෙජිස්ට්‍රාර් තනතුර වෛද්‍ය ආඥාපනතට අනුව වෛද්‍යවරයෙකු හෝ මහාචාර්ය වරයෙකු පත්කිරිමේ බලය ඇත්තේ සෞඛ්‍ය ඇමතිවරයාටය.
මහාචාර්ය කොල්වින් ගුණරත්න වසර ගණනාවක සිට රෙජිස්ට්‍රාර් තනතුරේ රැදී සිටිමින් 2022 ජනවාරි මස සිය තනතුරෙන් ඉල්ලා අස්වීමත් සමඟ මහාචාර්ය ජෙනිෆ් පෙරේරා එවකට සිටි සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල විසින් පත්කරනු ලැබීය.
කෙසේ නමුත් 2022 මාර්තු මස සිට මැයි 2දා දක්වා එම පත්විම ක්‍රියාත්මක නොවූ අතර මහාචාර්ය ජෙනිෆ් පෙරේරා රෙජිස්ට්‍රාර් තනතුරේ වැඩ ආරම්භ කිරීමට අවස්ථාවක් නොලැබුණි.
එසේ තිබියදි එවකට සිටි සෞඛ්‍ය ඇමති චන්න ජයසුමන විසින් 2022.04.29 දිනැති ලිපිය මගින් මහාචාර්ය වජිර දිසානායක ලංකා වෛද්‍ය විද්‍යාල සභාවේ රෙජිස්ට්‍රාර් තනතුරට පත්කල අතර ඔහු වැඩ භාරගෙන ඇත්තේ 2024 මැයි 2 වන දින බව වාර්තාවේ.
වෛද්‍ය විද්‍යාල සභාවේ රෙජිස්ට්‍රාර් විය යුත්තේ වෛද්‍ය පීඨයේ පීඨාධිපතිවරයාම විය යුතු බවට මතයක් ගොඩ නගමින් වත්මන් සෞඛ්‍ය ඇමතිවරයාව නොමග යවා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය තුළ මේ වන විට කථා බහක් මතුවෙමින් පවතින බවද වාර්තාවේ.
එමෙන්ම මේ වනවිට මහාචාර්ය වජිර දිසානායක වෛද්‍ය පීඨයේ පීඨාධිපති, ලංකා වෛද්‍ය විද්‍යාල සභාවේ ලේඛකාධිකාරී තනතුරට අමතරව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධූරය ද දරමින් සිටී.
එකම මහාචාර්යවරයෙකු කොළඹ විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨයේ පීඨාධිපති වශයෙන් පූර්ණ කාලීනව වැඩ කරන අතර ලංකා වෛද්‍ය විද්‍යාල සභාවේ පූර්ණ කාලීන රෙජිස්ට්‍රාර් වශයෙන් මෙන්ම ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ලෙස ද සේවය කරමින් සිටීමත් තනතුරු තුනක් වෙනුවෙන් ගෙවීම්, දීමනාවන් හා වරප්රසාදයන් තනි පුද්ගලයෙක් ලෙස ලැබීමත් කියන්නේ ලංකාවේ සිටින එකම විශේෂඥ වෘත්තිකයා ඔහු පමණක් වීම නිසාදැයි සෞඛ්‍ය ක්ෂේත්රයේ වෘත්තිකයෝ ප්‍රශ්න කරමින් සිටිති.
මේ සම්බන්ධව සෞඛ්‍ය වෘත්තිකයින් සෞඛ්‍ය ඇමතිවරයාගේ අවධානයද යොමුකර ඇතැයි වාර්තාවේ.







