මනම්පිටිය නිමල් ජයරත්න –
මෙවර යල කන්නයේ පොළොන්නරුව ඇතුළු මහවැලි බී කලාපය මහා පරිමාණ වී මෝල් හිමියන් වී මිලදී ගැනීමේ දී සෑම වී කිලෝවක මිල රුපියල් 110 ත් 115 ත් අතර මිලකට අඩු කර ඇතියි ගොවි සංවිධාන නියෝජිතවරු ප්‍රකාශ කරති.
රජය මගින් නාඩු වී කිලෝවක් රුපියල් 120 ටත්, සම්බා වී කිලෝවක් රුපියල් 125 කටත්, කීරි සම්බා කිලෝවක් 130 කටත් ලබා ගන්නා බවට ප්‍රකාශ කළද රජය මගින් මහවැලි බී කලාපයේ මෙතෙක් වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර නොමැති බව ගොවීහු කියති
මහවැලි බී කලාපයේ ව්‍යාපාර කමිටුවේ හිටපු ලේකම් සරත් රාජපක්ෂ සඳහන් කළේ මෙවර යල කන්නයේ කුඹුරු සැකසීම, වී වැපිරීමේ සිට වී අස්වනු නෙළා නිවසට ප්‍රවාහනය කරන තෙක්ම වෙනත් කන්න වලට වඩා අති විශාල වියදමක් දරන්නට සිදු වූ බවය.
කෘමිනාශක, වල්නාශක මෙන්ම යූරියා පොහොර සඳහාද අධික මුදලක් වැයවූ බැවින්, රජයේ සහතික මිලත් කිසිසේත්ම ප්‍රමාණවත් නොවන වටපිටාවක මහා පාරිමාණ මෝල් හිමියන් වී කිලෝවක් සඳහා රුපියල් 110ක මිලක් නියම කිරීම මොන සාධාරණයක් දැයි හිටපු ලේකම්වරයා විමසයි.
වී කිලෝවක් සඳහා රුපියල් එකසිය 150ක මිලක් හෝ නියම නොකරනවා නම් මේ වගාවෙන් ගොවියාට පලක් නැති බවත් ඔහු කියයි.







