වැල්ලේ සාරංගගේ මස්සිනා වූ දොන් සුජිත් හෙවත් උක්කුවා ඝාතනය කිරිමේ සිද්ධියේ දී ඝාතකයා රැගෙන පැමිණි යතුරුපැදියේ පැදිකරු ලෙස කටයුතු කර හමුදාවෙන් පැන ආ සෙබලා සූරියවැව ප්‍රදේශයේ ආඬිගම වැව අසල වාඩියක සැඟවී සිටිය දී එස්.ටී.එෆ් වෙඩි පහරකින් ඝාතනය වී තිබේ.
විශේෂ කාර්ය බලකායට ලද බුද්ධි තොරතුරක් මත අද (28) අලුයම සිදුකළ ක්ෂණික වැටලීමක් අතර සිදු වූ වෙඩි හුවමාරුවකින් අනතුරුව මෙම සිද්ධිය සිදූ බවත්, . සැකකරු විසින් ගිනිඅවියකින් නිලධාරීන්ට වෙඩි ප්‍රහාරයක් එල්ල කළ විට එයට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ දී සැකකරු තුවාල ලබා සුරියවැව රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බවත් විශේෂ කාර්ය බලකාය පැවසුවේය.
මියගිය පුද්ගලයා දකුණු කණුමුල්දෙණිය, මීඇල්ල ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි අයෙකි.
වෙඩි හුවමාරුවෙන් විශේෂ කාර්ය බළකායේ නිලධාරියෙකු ද තුවාල ලබා තිබේ.
පසුගිය වසරේ අගෝස්තු 8 වන දින වැල්ලම්පිටිය, කිත්තම්පහුම ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට වෙඩිතැබීම, ජුනි 17 වනදා මීටියාගොඩ, සීනිගම දේවාලය අසල විදුර නැමති සංවිධානාත්මක අපරාධකරුගේ මස්සිනා වන දුලාජ් යන අයට කොස්ගොඩ සුජී නැමැති සංවිධානාත්මක අපරාධකරුගේ මෙහෙයවීමෙන් වෙඩිතබා ඝාතනය කිරීමට තැත් කිරීම යන සිද්ධි සම්බන්ධයෙන් ද මෙම පුද්ගලයාට චෝදනා එල්ල වී ඇතැයි පොලිසිය කියයි.
සැකකරු සන්තකයේ තිබී රිවෝලර් වර්ගයේ ගිනිඅවියක් සහ යතුරුපැදියක්ද අත්අඩංගුවට ගෙන ඇත.
“වැල්ලේ සාරංගගේ” ප්‍රතිවාදියෙකු ලෙස සැලකෙන තවත් අපරාධකරුවකු වන ඩුබායි නිපුන නැමැත්තාගේ පාර්ශ්වයෙන් ලද කොන්ත්‍රාත්තුවක් මත මෙම ඝාතනය සිදුකර තිබුණේ ක්‍රියාන්විත හමුදා සේවයේ යෙදුන සෙබලෙක්වන අතර ඔහුත් මේ වනවිට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අත් අඩංගුවෙහි පසුවෙයි.