මහනුවර නගර සභාවෙන් රුපියල් දෙකෝටි දහඅට ලක්ෂ හැත්තෑ එක් දහසක් (2,18,71,000) වංචා කළ බවට චෝදනා එල්ලවන නගර සභාවේ ගිණුම් අංශයේ හිටපු කළමනාකරණ සහකාරවරිය මහනුවර පොලීසියේ විශේෂ අපරාධ විමර්ශන අංශය මගින් සැක පිට අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 15 දින තෙක් රක්ෂිත බන්ධනාගාර කිරීමට අධිකරණය නියෝග කළේය.
අද (05) මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ දේනුකා නිශාන්ති මැණිකේ නැමැති කළමනාකාර සහකාරවරියකි.
මෙම වංචාව ඇය විසින් සිදුකර තිබුනේ මහනුවර නගරසභාව සතු කඩ කාමර 18ක බදු අයිතිය එක් අයෙකුගෙන් තවත් අයෙකුට පැවරීමේ දී නගර සභාවට ලැබි යුතු මුදල නගර සභාවට බැර නොකිරීමෙන් සහ කඩ කාමර 31කින් කුලී අයකළ බවට ව්‍යාජ රිසිට් පත් සකසා එම රිසිට්පත් ලිපි ගොනු තුළට ඇතුළු කිරීමෙනි.
විගණනය හෙළි කරගත් ආකාරයට කඩ කාමරයේ 18 බදු අයිතිය පැවරීමේ දී ඇය වංචාකල මුදල රුපියල් එක්කොටි තිස් පන් ලක්ෂයකි. කඩ කාමර 31 කින් වංචාකළ කුලී මුදල රුපියල් අසූ දෙලක්ෂ හැත්තෑ අට දහස් අට සීයයකි. විගණනය හෙළි කරගත් ආකාරයට ඇය පුරා වසර පහක් තිස්සේ මෙම මූල්‍ය වංචාව කරගෙන ගොස් ඇත.
මේ සම්බන්ධයෙන් මධ්‍යම පළාත් පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු ගේ උපදෙස් මත විමර්ශනයක් ද ආරම්භ කර ඇත.