දිනසේන රතුගමගේ –
තල් ගස් ලක්ෂ එක හමාරකට අධික සංඛ්‍යාවක් පවතින තලෙයිමන්නාරම් මාර්ගයේ පිහිටි ස්වභාවික තල් වනයේ හටගත් හදිසි ගින්නක් මැඩ පවත්වා තල් වනය බේරා ගැනීමට ප්‍රදේශයේ නාවික හමුදා හා යුද හමුදා සේනාංකවලට ඊයේ (12) හැකි වී තිබේ.

මෙම ගින්න හට ගැනීමත් සමගම තල් ගස් ගින්නට හසු වී තල් ගස් 40ක් පමණ ගින්නෙන් විනාශ වී තිබිය දී මන්නාරමේ නාවික හමුදා හා යුද හමුදා සේනාංක ඔවුන්ගේ ගිනි නිවන රථ හා වතුර බව්සර් ද මන්නාරම නගර සභාවේ ගිනි නිවන රථ හා වතුර බව්සර් ද පළාතේ පෞද්ගලික බව්සර් කීපයක්ද යොදා ගෙන ගින්න මැඩ පවත්වා ඇත.
එම මාර්ගයේ ගමන් කළ පිරිසක් සතුන් අල්ලා ගැනීමට ලඳු කැළෑවකට ගිනි තැබීම නිසා මෙම ගින්න හටගෙන ඇති අතර ගින්න හට ගැනීමත් සමගම ඔවුන් එම ප්‍රදේශයෙන් පලා ගොස් තිබේ.
මෙම තල්වනයේ හාවුන් මීමින්නන් වැලිමුවන් කබල්ලෑවන් හා ඉත්තැවන් සිටින නිසා එම සතුන් අල්ලා ගැනීමට සංවිධානාත්මක පිරිස් නිතර නිතර මෙම තල්වනයට ගිනි තැබීම පුරුද්දක් කරගෙන සිටියි.
මන්නාරම පොලිසිය මෙම තල්වනයට ගිනි තැබූ පිරිස සොයා පරීක්ෂණ ආරම්භ කොට තිබේ.







