දිනය පසුගිය බදාදා (29) ය. වෙලාව රාත්‍රී 9ට පමණ ඇත. කැළනි ගඟ ගලන්නේ දෙගොඩ තලා යන ලෙසය. මහාජල කඳක් ඉතිරෙමින් ගලා යන්නේ දුටුවන් ද තිගස්වමිනි.
ගං දිය ගලන හඬ යටපත් කරගෙන ඉතිපිසෝ ගාථාව කියන හඬක් ඇසේ. ඒ අතරම තමන් බේරා ගන්නා ලෙස ඇසෙන විලාපයකි. කාන්වකගේ හඬය. මේ කුමක්දැයි දකින්නට එළියක් නැත. පිරිසක් කඩුවෙල පාලම මතට දිව ගියහ. ඔවුන් දකින්නේ ගඟේ සැඩ පහරට හසුව ගසාගෙන යන කාන්තාවකි.
පිරිසෙන් අයෙක් ඒ මොහොතේම කඩුවෙල පොලිසිය දැනුම්වත් කරන්නේය. කඩුවෙල පොලිස් ස්ථානාධිපති කාන් වීරසිංහය. ඔහු ප්‍රමුඛ පොලිස් කණ්ඩායමක් අසුරු සැනින් ක්‍රියාත්මක වූහ. විනාඩි ගණනකින් ගලවා ගැනිමේ මෙහෙයුම දියත් කළ යුතුය. ඇයව බේරාගැනීමට හැකි සුදුසුම තැන වැලිවිට බෝගහවත්ත පාර ප්‍රදේශයේ පිහිටි පාලමය. පාලමින් කඹයක එල්ලී ගං දිය මට්ටම බැස ඇය බේරා ගත යුතුය. එය ජීවිතය අවදානමට දමන මෙහෙයුමකි.
මේ අවදානම ගන්නේ සමන් අසිත පිගේරා නමැති නිර්භීත මනුෂ්‍යයෙකි. ඔහු කඩුවෙල පොලිසියේ නිලධාරින් සහ ප්‍රදේශවාසීන්ගේ සහය සහිතව කඹයක එල්ලී ගං දියට බසින්නේය. පාවී එන කාන්තාව අල්ලා ගන්නේය. ඇයව නිරුපද්‍රිතව බේරා ගන්නේය.
කිලෝ මීටර තුනක් දුර ඇය ගං දියේ පහළට ගසාගෙන පැමිණ තිබිණි.
ඇයව බේරා ගැනීමට දිවි පරදුවට තබා කඹයක් ආධාරයෙන් කැලණි ගඟට බැස්ස සමන් අසිත පිගේරා සිය අත්දැකීම විස්තර කළේය.
“මම වැඩ ඇරිලා ගෙදර ඉන්නකොට තමයි මේ ආරංචිය ආවේ. අජිත් අයියා කියලා අයිය කෙනෙක් ඉන්නවා. එයාට කොහෙන් හරි ආරංචි ඇවිල්ලා ගඟේ ගෑනු කෙනෙක් ගහගෙන යනවා කියලා.
ඊට පස්සේ මමයි තාත්තයි අයියයි තුන්දෙනාම ගඟ ගාවට ගියා. යනකොට කඩුවෙල පොලිසියේ මහත්තුරුත් ඇවිල්ලා හිටියා. එයාලගේ ආධාර ඇතිව මම කඹයක් අරන් ගඟට බැහැලා සැඩ පහරට පහළට ගහගෙන එන ගෑනු කෙනාව ගත්තා. පස්සේ පොලිස් ජීප් රථයෙන්ම රෝහලට අරන් ගියා. කොහොමහරි ඒ ගෑනු කෙනාගේ ජීවිතේ බේරගත්තා. ජීවිතයක් බේරා ගැනීමට ලැබීම ගැන මට ගොඩක් සතුටුයි” ඔහු කීවේය.
අනතුරට ලක් වී සිටියේ 46 හැවිරිදි දෙදරු මවකි. ඇය ජයනා කුමාරි මුණසිංහය. මේ වනවිට ඇය දකුණු කොළඹ මහ රෝහලේ ප්‍රතිකාර ගනිමිනි. ජයනාගේ සැමියා උපුල් ධර්මතිලක කුමාරය. සිද්ධිය පිළිබඳව ඔහු කතා කළේ තිගැස්මෙනි.
“අපි දෙන්නට වයස අවුරුදු 14 ක හා 21ක පුතුන් දෙදෙනෙක් ඉන්නවා ලොකු පුතා රස්සාවක් කරනවා. පොඩි පුතා අසනීප තත්ත්වයකින් තමයි ගෙදර ඉන්නේ.”
“මම පෙරේදා (29) උදේ ඉඩම් කච්චේරියට ගියා අවශ්‍යතාවකට. ගෙදර හිටියේ මගේ නෝනයි දෙවැනි පුතයි විතරයි. එනකොට දවල් 1.30ට පමණ ඇති. ගෙදරට ආ හැටියෙම පුතා කිව්වා අම්මා ගියා අම්මා ගියා කියලා. මම හැම තැනම හොයලා බැලුවා එයා පේන්න හිටියේ නෑ.”
එයා හිටියේ ලොකු මානසික පීඩාවකින්. ඒක සමනය කරගන්න බෙහෙත් ගත්තා. පස්සේ මම මේ බව ලොකු පුතාටත් දුරකතනයෙන් දැනුම් දුන්නා. එයත් ගෙදර ආවා. නෝනව හැම තැනම හෙව්වා. පන්සල්වල ගිහිල්ල බැලුවා. කනත්තවලට ගිහිල්ල බැලුවා. ගමේ යාළුවෝ කිහිප දෙනෙකුත් අපිට උදව් කරා. රාත්‍රි හතට විතර අපි උඩුපිල පැත්තේ ඉඳලා කඩුවෙල පාලම පැත්තට ආවා. එනකොට මිනිස්සු වගයක් කෑගහනවා කවුද ගඟේ ගහගෙන එනවා කියලා. මගේ යාළුවා බයිසිකලින් බැහැලා ගිහිල්ලා ගඟ දිහා බලලා මා ගාවට ඇවිල්ලා කිව්වා අපි යමු කඩුවෙල පොලිසියට කියලා.”
“මම හිතුවා මගේ නෝනා තමයි ගඟේ ගිහිල්ලා තියෙන්නේ කියලා. මොනවා වුණාද කියලා හිතාගන්න බැරි වුණා. දරුවෝ දෙන්නම මතක් වුණා. එයාලට දැන් අම්මා කෙනෙක් නෑ නේද කියලා හිතුනා.”
“පැය භාගයක් විතර යනකොට මට කඩුවෙල පොලිසියේ ඕ.අයි.සී. මහත්තයා කතා කරලා කිව්වා. ඔයාගේ නෝනා ජීවත් වෙලා ඉන්නවා බයවෙන්න එපා. අපි බේරගත්තා කියලා. මුල්ලේරියාව ඉස්පිරිතාලෙට යන්න කියලා කිව්වා. මට හිතුණා හීනයක් ද කියලා. මම ආයි පාරක් ඕ.අයි.සී. මහත්තයට කෝල් කරා ඇත්තද සර් කිව්වේ කියලා. ඔව් ඔයා යන්න ඉස්පිරිතාලෙට ඔයාගේ නෝනා හොඳින් ඉන්නවා කියලා කිව්වා. මම ජීවිතේ අහපු සතුටුම වචන ටික තමයි එතුමා මට කිව්වේ.”
“කඩුවෙල ඕ.අයි.සී. මහත්තයයි බෝගහවත්ත ප්‍රදේශයේ සමන් අසිත කියන මහත්තයකුයි පොලිසියේ මහත්වරුයි ගම්වාසීන් කීප දෙනෙකුයි එකතුවෙලා ගඟේ ගහගෙන ගිය මගේ නෝනව බේරගෙන කියලා. සියලුම දෙනාට මේ වෙසක් සතියේ පින් සිද්ධ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.”

මේ යුවලගේ දෙදරුවන් අතර 14 හැවිරිදි දරුවා උපතින්ම විශේෂ අවශ්‍යතා සහිත දරුවෙකි. එය කම්පිත නොවී කළමනාකරණය කරගත යුතු තත්ත්වයකි. එහෙත් ඒ අම්මා මේ පරිසරය තුළ දැඩි මානසික පීඩාවකින් පෙලී තිබේ. ඇය පෙළන විශාද තත්ත්වය ඇයව සිය දිවි නසා ගැනීමේ තැනට පත් කර ඇත. නවගමුව ප්‍රදේශයේ පාලමකින් කැලණි ගඟට පැන ඇති ඒ අම්මා කෙසේ හෝ දැන් ජීවතුන් අතරය.
විශාදය යනු මේ සමාජය තුළ බොහෝ දෙනෙකුට බලපෑ හැකි මානසික ව්‍යාධි තත්ත්වයකි. නිසි ප්‍රතිකාර ගැනීම හරහා කළමනාකරණය කරගත හැකි තත්ත්වයකි. රටක් ලෙඩ වී ඇති වටපිටාවක මිනිසුන්ගේ හිත් ලෙඩවීම අරුමයක් නොවේ. අවශ්‍ය වන්නේ ඒ ලෙඩවුන සිත් නිසා ඇතිවන බිහිසුණු තත්ත්ව පාලනය කරගැනීම සඳහා වූ සමාජයක වගකීමය. ( නවගමුව සමූහ – සුගත් ප්‍රේමතිලක බණ්ඩාරගම – බිමල් ජයසිංහ විසින් දිනමිණ පුවත්පතට සැපයූ ප්‍රවෘත්ති විශේෂාංගයක් ඇසුරිනි)







