අරලියගහ මන්දිරය ඉදිරිපට පදික වේදිකාව අවහිර කරමින් නවතා ඇති බස් රථ සහ උද්ඝෝෂකයන්ගේ අට්ටාල ඉවත් කිරීමට ලබා දුන් මහේස්ත්රාත් නියෝගය ඉටු නොකිරීම සම්බන්ධයෙන් කරුණු දැක්විමට කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපතිවරයාට ලබන 9 දා අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙස කොළඹ අතිරේක මහේස්ත්රාත් මංජුල රත්නායක නියෝග කර තිබේ.
මෙම නියෝගය නිකුත් කිරිමට පසුබිම් වී ඇත්තේ මයිනාගෝගම විරෝධතා කරුවන් ඉවත් කරන ලෙස කොල්ලුපිටිය පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීමය.
ඒ සම්බන්ධව පසුගිය 02 දා තීන්දුවක් ලබා දුන් අධිකරණය නියෝග කර තිබුනේ සාමකාමී උද්ඝෝෂකයන්ගේ උද්ඝෝෂණ තහනම් කළ නොහැකි බවත් මහජන පීඩා පනත යටතේ එම ස්ථානයේ නවත්වා ඇති බස් රථ සහ පදික වේදිකාව අවහිරවන සේ සකස් කර ඇති අට්ටාල ඉවත් කරන ලෙසත්ය.
එහෙත් එම උසාවි නියෝගය ක්රියාත්මක නොකිරීම සම්බන්ධව නීතිඥවරුන් මෝසමක් මගින් කරුණු දක්වීමෙන් අනතුරුව අධිකරණ නියෝග කඩ කිරීම සම්බන්ධව කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපතිවරයාට එරෙහිව නොතීසි නිකුත් කරන ලෙස උසාවිය නියෝග කර ඇත.








