කීර්ති ප්‍රනාන්දු –
තමා ජීවත් වන්නේ කැලේ උනත් ඒ කැලය තිබෙන්නේ මේ රට තුළ බැවින් මේ රටේ මිනිස්සුන්ගේ ජන පීඩාව තමන්ට හොඳින්ම දැනෙන බව ආදිවාසී නායක වන්නිලා ඇත්තෝ පවසති.
දුෂ්කර අවස්ථාවක ඉන් ගොඩ ඒම සඳහා බදු ප්‍රතිපත්තියක් රටකට අවශ්‍ය බව සැබෑ නමුත් වංචාව හා දූෂණය තොර නොවූ රටක් බදු වලින් ගොඩ ගත හැකිදැයි නොදන්නා බවත්, මේ සෑම බද්දකින්ම පීඩාවට පත් වන්නේ ජීවන බරින් හෙම්බත් වූ ජනතාව බවත් වන්නිලා ඇත්තෝ කියති.
මේ අතරට විදුලි බිලත් වැඩි වූ විට එය දරාගන්නේ කෙසේ දැයි වන්නිලා ඇත්තෝ ප්‍රශ්න කරති.
ගිනි මැලයක් ගසාගෙන රැය පහන් කරන තමන්ගේ ඇත්තන්ට ඒ ගිනි මැලයෙන් ආලෝකය වගේම ආරක්ෂාවත් ලැබෙන බැවින් දඹානට මේ ගැටලුව බරපතල ලෙස නොදැනෙනු ඇතැයි පැවසූ වන්නිලා ඇත්තන් කීවේ දඹාන කෞතුකාගරයේ තැන්පත් කිරීම සඳහා තමන් විදේශවලින් ගෙනා අස්ථි කොටස් සහිත කුටිය වායු සමනය කර ඇති බැවින් එහි විදුලි බිල නම් දරාගත නොහැකිවනු ඇති බවය.
“ ඔය මොනවා වැඩි කළත් කමක් නෑ දියුණු රටවල්වල. අපේ රටේ ගොඩක් ඉන්නෙ එදා වේල හොයාගෙන කන මිනිස්සු. රස්සාවක් කළත් මාසෙ අන්තිමට කඩේට ණයයි. එහෙම මිනිස්සුන්ට විදුලි බිලත් වැඩි කළාම ඒක ලොකු අසාධාරණයක්. “
වන්නිලා ඇත්තො කීහ.