යාචක කාන්තාවකගේ මාස එකහමාරක් වයසැති පිරිමි දරුවා පැහැරගත් බවට චෝදනා ලද කාන්තාව වනාතවිල්ලුව ප්‍රදේශයේදී ඊයේ (02) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන බිලිඳු දරුවා ද පොලිස් භාරයට ගත් බව බම්බලපිටිය පොලීසිය සඳහන් කරයි.
දරුවා පැහැරගැනීමට ආධාර අනුබල දුන් බව කියන ත්‍රිරෝද රථ රියදුරෙකු, බ්‍රෝකර්වරයෙකු ඇතුළු පිරිමි පුද්ගලයන් සිව් දෙනෙකු ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.
දරුවා පැහැරගත් බවට චෝදනා ලද කාන්තාව දරු ප්‍රසූතියක් සඳහා සූදානමින් වනාතවිල්ලුවේ සිට පැමිණ කොළඹ ඥාති නිවසක රැඳී සිට ඇත. එහෙත් දරු ගැබට මාස 7ක් ගතවත්ම දරුවා මිය ගොස් ඇත.
ඇයගේ සැමියා ඉන්නේ විදේශගතවය. ඒ වනවිට දරු ප්‍රසූතිය සඳහා සූදානම් කරගත් ලක්ෂ තුනකට ආසන්න මුදලක් තිබී ඇත. බලාපොරොත්තු සුන් වූ මේ කාන්තාව මේ මුදල වියදම් කර කෙසේ හෝ දරුවෙක් සොයාගෙන ගමට යන බවට සිතාගෙන දරුවෙක් සොයා දෙන ලෙස දෙමටගොඩ ප්‍රදේශයේ හිතවත් පුද්ගලයෙක් වෙත පවසා තිබේ.
ඒ අනුව දරුවෙක් සොයා දීමට ඉදිරිපත් වූ පුද්ගලයා සහ මේ කාන්තාවදින කීපයක් පුරා ඇවිදිමින් දරුවෙක් සොයමින් සිට තිබේ. ඒ අතරේ බම්මබලපිටිය සපත්තු අලුත්වැඩියා කරන පුද්ගලයෙකුගෙන් ලද තොරතුරක් අනුව කුඩා දරුවෙක් සිටින යාචක කාන්තාවක් සොයා ගැනීමට ඔවුන්ට හැකි වී තිබේ. ඇයගේ දරුවාට මාස එක හමාරකි.
හදා ගැනීම සඳහා දරුවා ලබා දෙන ලෙසත් ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂයක මුදලක් ලබා දිය හැකි බවත් යාචක කාන්තාවට චූදිත කාන්තාව පවසා තිබේ. මෙම යාචක කාන්තාවත් ඇයගේ සැමියාත් දැඩි ලෙස මත්ද්‍රව්‍යයට අබ්බැහි වූවන්ය. කාන්තාව රුපියල් ලක්ෂයක මුදලට දරුවා හදා ගැනීමට ලබා දීම සඳහා සිය කැමැත්ත පල කර තිබේ.
මේ කටයුත්තට අතරමැදියා ලෙස කටයුතු කළ පුද්ගලයාට රුපියල් පනස් දහසක් ද, ත්‍රී රෝද රථ රියදුරු ඇතුළු අනෙක් පුද්ගලයින් දෙදෙනාට රුපියල් විසි පන්දහස බැගින්ද දරුවා ලබා දෙන යාචක කාන්තාවට රුපියල් ලක්ෂයක් ද ලබා දුන් කාන්තාව අනතුරුව එම කාන්තාවත් රැගෙන දෙමටගොඩ රෙදි පිළි සැලකට ගොස් දරුවා වෙනුවෙන් රුපියල් එක් දහස් නවසියයක ඇඳුම් පැලඳුම් ද මිල දී ගෙනන තිබේ.
කෙසේ වෙත්ත දරුවා හදා ගැනීමට දීම වෙනුවෙන් රුපියල් ලක්ෂයක් ලබා ගත් යාචක කාන්තාව මුදල් සියතට ගත් පසු දරුවා ලබා දීම ප්‍රතික්ෂේප කර තිබේ. සිද්ධිය සිදුවී ඇත්තේ කොම්පඤ්ඤවීදිය රථ ගාලයදී ය. මේ අවස්ථාවේ දී දරුවා යාචක කාන්තාව අතින් උදුරාගෙන කාන්තාව සහ බ්‍රෝකර්වරයා කුලී මෝටර් රථයකින් වනාතවිල්ලුව ප්‍රදේශයට පැමණ ඇත.
සිද්ධියෙන් අනතුරුව තම දරුවා පැහැරගත් බව යාචක කාන්තාව පොලිසියට පැමිණිලි කර තිබිණි. ඒ පැමිණිල්ල අනුව CCTV දර්ශන ඔස්සේ කළ විමර්ශනයකින් පසු ත්‍රී රෝද රථයක ලියාපදිංචි අංකය හරහා කළ පරීක්ෂණයකින් අනතුරුව සැකකරුවන් එකිනෙකා අත්අඩංගුවට ගෙන තිබිණි.
අත්අඩංගුවට ගත් 53 හැවිරිදි කාන්තාව හඬා වැටෙමින් පොලිසිසට සිය කතා පැවසුවාය. එහෙත් නීතිය ඇත්තේ ඒ මානුෂික රීතීන්ට පිටින්ය. මාවතේ වැටී අපරාධකරුවෙක් වීමේ වැඩි සම්භාවිතාවක් සහිත කුඩුකාර යාචක යුවලකගේ දරුවෙක් සම්බන්ධව ඉරණම අධිකරණයේ දී විසඳීමට නියමිතය.
අත්අඩංගුවට ගත් 53 හැවිරිදි කාන්තාව සහ සැකකරුවන් සියලු දෙනාත් යාචක කාන්තාවත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. බම්බලපිටිය පොලිසිය පරීක්ෂණ පවත්වමින් ඇත.