මනම්පිටිය නිමල් ජයරත්න –
පොලොන්නරුව මනම්පිටිය මහවැලි ගඟේ ජල පොම්පාගාරය පිහිටි ප්‍රදේශයෙන් දෙවන අදියර යටතේ ටෙන්ඩර් ක්‍රමයක් මගින් මහා පරිමාණ ව්‍යාපාරිකයින්ට හා දේශපාලන ආධාරකරුවන් පිරිසකට වැලි මංකඩ ලබාදීම සඳහා පරීක්ෂණයට පැමිණි නිලධාරීන්ට එහි යාමට ඉඩනොදි, වාහනවල රෝදවලට ගෙල තබාගෙන, බිම වාඩි වී ටෙන්ඩර් ක්‍රමය වහාම හකුලා ගන්නා ලෙසට බලකරමින් මනම්පිටිය පාරම්පරික වැලි මංකඩ හිමියන් සහ වැලි කම්කරුවන් පිරිසක් අද (08) දහවල් විරෝධතාවයක නිරතවූහ.
වනජීවී දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශය, පරිසරවේදීන් ඇතුළු මනම්පිටිය මහවැලි ගඟේ වැලි ගොඩදමන පෞද්ගලික සමාගමක නිලධාරීන් පිරිසක් මෙම පරීක්ෂාවට පැමිණ සිටි අතර එහිදී දැඩි නොසන්සුන්කාරී තත්වයක් ඇතිවූ අතර පරීක්ෂාවෙන් අනතුරුව එම නිලධාරීන්ට වාහනවලින් යාමට ඉඩ නොදී මග අවහිර කරමින් වැලි ගොඩ දමන කම්කරුවන් සහ මංකඩ හිමියන් මෙම විරෝධයතාවය පළ කළහ.
මනම්පිටිය මහවැලි ගඟේ ජල පොම්පාගාරය පිහිටි ප්‍රදේශයෙන් මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට, ධනපතින්ට මෙන්ම දේශපාලන ආධාරකරුවන්ට මංකඩ ලබාදීමෙන්, ජල ගැලීම් ජාතික වනෝද්‍යානයේ සැරිසරන වන සතුන්ට, අලි ඇතුන්ටත්, ප රිසරයටත්, ජල පොම්පාගාරය හරහා පානීය ජලය ලබාගන්නා පොලොන්නරුවේ පවුල් 25,000 කටත් උග්‍ර පානීය ජල අර්බුදයට මුහුණ දීමට සිදුවන බවද විරෝධතාකරුවෝ පෙන්වා දුන්හ.
මේ වනවිට මනම්පිටිය මහවැලි ගඟේ වැලි ගොඩ දැමීමෙන් පවුල් 15,000 ක පුද්ගලයන් 50,000 අධික පිරිසක් දිවිගැට ගසා ගන්නා බවත්, මෙම ටෙන්ඩර් ක්‍රමය මගින් දෙවන අදියර යටතේ මංකඩ ලබාදුනහොත් තමන්ගේ රැකියා අවස්ථා පවා අහිමි වනු ඇති බවත් විරෝධතාකරුවෝ සඳහන් කළහ.
මෙම ක්ෂේත්‍ර පරීක්ෂාවට පැමිණි පෞද්ගලික සමාගමේ ස්ථානභාර නිලධාරි එම්.සී,එම්. හසන්ගෙන් අප කළ විමසීමේදී ඔහු සඳහන් කළේ මාධ්‍යයට පිළිතුරු සැපයීමට නොහැකි බවත්, වැලි මංකඩ ලබාදීමට පරීක්ෂාවක් සිදු නොකෙරූ බවත්ය.
මේ පිළිබඳව කළ විමසීමක දී වැලි නිධි පැවතීමෙන් ගංවතුර කාලවලදි මහවැලි ගඟ අවට ගම්මාන යට වන බවට අධිකරණයට අසත්‍ය කරුණු වාර්තා කරමින්, මෙම ප්‍රදේශයේ තිබෙන වැලි කැණීම් කිරීමට දේශපාලනඥයින් සහ ඔවුන්ගේ ආධාරකරුවන් පිරිසක් සූදානම් වන බවත්, වන සතුන් සැරිසරන ජල ගැලීම් ජාතික වනෝද්‍යානයේ, මහවැලි ගඟේ වැලි කැණීම් කිරීම වෘක්ෂලතා ආඥාප පනත යටතේ බරපතළ දඬුවම් ලැබිය හැකි වරදක් බවත්, කිසිදු කමිටුවකින් මෙම ප්‍රදේශයේ වැලි ගොඩදැමීමට අනුමැතිය ලබාදී නොමැති බවත් සමස්ත ලංකා වනජීවී වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති කුමාරසිරි විජේකෝන්ගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී සඳහන් කළේය.