භික්ෂුන් වහන්සේලා සම්බන්ධ චෝදනාවලදී නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් පොලිසිය හරහා අදාළ භික්ෂූ නිකායේ නායක හිමිවරුන් දැනුවත් කිරීමටත් , ඒ අනුව සාමාන්‍ය නීතියට අමතරව විනය ක්‍රියාමාර්ග ගැනීමට ක්‍රමවේදයක් සකස් කිරීමටත් යෝජනා කරන බවත් අමාත්‍ය විදුර වික්‍රමනායක පවසයි.
ඉදිරියේදී මේ සම්බන්ධව කටයුතු කිරීමට නායක හිමිවරුන්ගේ මගපෙන්වීමෙන් වෙනම ව්‍යුහයක් ස්ථාපිත කිරීමට බලතල සහිත නව පනතක් හඳුන්වා දීමටත් අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා කියයි.
පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවති බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය.
දුසිල්වත් සහ ඇතැම් ව්‍යාපාර ආදී කටයුතුවල නියැලෙන භික්ෂුන් නිසා ශාසනයට සිදුවන හානිය පිළිබඳවත් ඒ අනුව ඒවා නැවැත්වීමටත් අමාත්‍යාංශය කඩිනමින් මැදහත්වීමේ අවශ්‍යතාවය කාරක සභාවේදී විශේෂ අවධානයට ලක් වී ඇත.
භික්ෂුන් අධ්‍යාපනය ලබන විශ්ව විද්‍යාලවලද විනය පිරිහීම සම්බන්ධව මෙහිදී අවධානය යොමුවී ඇත. සාමාන්‍යයෙන් බෞද්ධ විශ්ව විදළ්යාලවලට ඇතුළත් වන භික්ෂූන්ගෙන් 45%ක් අවසන් වසරේදී උපැවිදි වීමේ තත්ත්වයක් ඇති බව මෙහිදී සාකච්ඡා වී තිබේ.
ඒ අනුව මෙම තත්ත්වය පාලනය කිරීම සදහා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව කමිටුව අවධාරනය කර ඇත. මේ අනුව උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සමග ඉදිරියේදී සාකච්ඡා කොට පියවර ගැනීමට අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
අඩු වයසින් කුල දරුවන් සසුන්ගත කිරීම පිළිබදවද දීර්ඝ වශයෙන් මෙහිදී සාකච්ඡා විය. බුදු දහම රැක ගැනීම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති වගකීමක් බැවින් මේ පිළිබඳව නිශ්චිත වැඩපිළිවෙලක් සකස් කිරීමේ අවශ්‍යතාව අමාත්‍යවරයා අවධාරණය කළේය. ඒ අනුව මේ පිළිබදව සාකච්ඡා කිරීමට උපදේශන කාරක සභා අනුකමිටුවක් පත් කිරීමටද මීළග රැස්වීමේදී පියවර ගන්නා බව අමාත්‍යවරයා පැවසීය.







