ශ්‍රියානි විජේසිංහ –
හදිසි තත්වයකදී කටයුතු කළ යුත්තේ කෙසේද යන්න පිලිබඳව හදිසි ප්‍රතිකාර ඒකකවල සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට විශේෂ දැනුමක් ලබා දීමට සෞඛ්‍ය අමාත්යංශාය තීරණය කර ඇත.
මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) රාත්රියේදී පැය දෙකක පමණ විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යංශය තුළ පැවැත් වූ බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජී.විජේසූරිය පැවසුවේය.
මේ අනුව රෝගියෙකුට ඖෂධයක් හෝ එන්නත් ලබා දීමෙන් පසුව ඇතිවිය හැකි අසාත්මිකතාවකදි රෝගියාගේ ජීවිතයට හානියක් නොව සේ කටයුතු කළ යුත්තේ කෙසේද යන්න පිලිබඳව මෙහිදී විශේෂ පුහුණුවක් සහ දැනුමක් ලබා දීමට කටයුතු කරන බවත් අසාත්මිකතාවක් ඇතිවිය හැකි ඖෂධයන් පිලිබඳවත් විශේෂ දැනුමක් ලබාදීමට කටයුතු කරන බවද හෙතෙම පැවසුවේය.
මේ සම්බන්ධයෙන් විශේෂ චක්‍රලේඛයක් රෝහල් අධ්‍යක්ෂවරුන්වෙත නිකුත් කිරීම අද හෝ හෙට දිනයේදී සිදුවනු ඇති බව අමාත්‍යංශය ප්‍රකාශකයෙකු පැවසීය.
ගැටලුකාරී තත්ත්වයන් ඇති කළ ඇතැම් ඖෂධ වසර 10ක පමණ කාලයක සිට මෙරට භාවිත කරන බවත් මේවා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි වී ඇති බවත් වෛද්‍ය විජේසූරිය කීවේය.
පේරාදෙණිය රෝහලේදී එන්නතක් අසාත්මික වී 21 හැවිරිදි තරුණියක් මිය යෑමෙන් පසුව නැවත මෙවැනි මරණයන් සිදු නොවීමට ගත හැකි සෑම පියවරක්ම ගැනීම සඳහා මෙම පුහුණුව තුළින් අවශ්‍ය දැනුම් ලබා දීම අමුණ වී ඇති බව ද ඔහු කීය.







