දිනසේන රතුගමගේ-
පසුගිය දා යාපනය නගරයේ ගිනිගෙන විනාශ වූ රෙදිපිළි වෙළඳසැල කොන්ත්රාත්තුවක් මත ගිනි තබා ඇති බවත්, එම කොන්ත්රාත්තුව ලබා දී ඇත්තේ බෙල්ජියමේ සිටින යාපනයේ කාන්තාවක් බවත් යාපනය පොලීසියට තොරතුරු ලැබීමෙන් පසුව සැකකරුවන් තුන් දෙනෙකු අද ( 20 ) අත් අඩංගුවට ගෙන තිබේ.
මීට සති දෙකකට ඉහතදී මෙම රෙදිපිළි වෙළඳසැලට ගිනි තැබීම නිසා රුපියල් කෝටි පහක් පමණ වටිනා රෙදිපිලි හා වෙළඳසැලේ නවතා තිබූ මෝටර් රථයක් හා යතුරු පැදියක් ගිනිගෙන විනාශ වී ගොස් තිබුණි.
බෙල්ජියමේ සිටින යාපනයේ කාන්තාව හා යාපනයේ රෙදිපිළි අලෙවිසැල පවත්වා ගෙන යන පුද්ගලයා අතර කාලයක සිට ව්යාපාරික කටයුතු සම්බන්ධයෙන් හට ගෙන ඇති විරසකයක් මත පලිගැනීමට මෙම කොන්ත්රාත්තුව ලබා දි අති බවට පොලීසිය තොරතුරු හෙළිකර ගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් යාපනය පොලීසියට පුද්ගලයෙකු විසින් සපයන ලද තොරතුරක් ඔස්සේ පරීක්ෂණ පැවැත්වීමේදී රුපියල් ලක්ෂ එකහමාරක මුදලක් බැංකුවක තැන්පත් කළ පුද්ගලයෙකු පිළිබදව තොරතුරු හෙළි වී තිබේ.
පොලීසිය ඔහුව අත් අඩංගුවට ගෙන ප්රශ්න කිරීමේදී මෙම වෙළද සැල ගිනි තබා විනාශ කිරීම සදහා දැනට බෙල්ජියමේ සිටින යාපනයේ කාන්තාවක් මෙම සැකකරු ඇතුලු තවත් දෙදෙනෙකුට රුපියල් ලක්ෂ 12 ක කොන්ත්රාත්තුවක් ලබා දුන් බව හෙළි වී තිබේ.
එසේ ගිවිස ගත් කොන්ත්රාත්තුවේ මුල් කොටස රුපියල් ලක්ෂ හතක මුදල ලබා දි ඇති අතර ඉන් මෙම සැකකරුට ලැබුණු මුදලෙන් ලක්ෂ එකහමාර බැංකුවේ තැන්පත් කොට ඇත.
ඔහුගෙන් ලද තොරතුරුවලට අනුව තවත් සැකකරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් දෙදෙනා කාන්තාව විසින් ලබා දෙන ලද මුදලෙන් මිලට ගත් යතුරු පැදි දෙකක් ද අත් අඩංගුවට ගෙන තිබේ.
ඔවුන්ගේ නිවාස පරීක්ෂා කිරීමේදී කඩු දෙකක් හා පිහි හතරක් හමු වී ඇති අතර වෙළඳසැල ගිනි තැබීමට ගිය අවස්ථාවේදී එම කඩු හා පිහිද මෙම සැකකරුවන් විසින් රැගෙන ගිය බවට තොරතුරු අනාවාරණය වී ඇත.
අත් අඩංගුවට ගත් සකකරුවන් යාපනය අධිකරණයට ඉදිරිපත් කොට ලබා ගත් රැඳවුම් නියෝගයක් මත රදවා ගෙන ප්රශ්න කරගෙන යයි.