ගුවන්තොටුපොල පොලිස් ස්ථානයේ රඳවා සිටි පාතාලයේ සැඟවුණු වෙඩික්කරුවෙක්වූ කළුමිණි රවිදු සංඛ ද සිල්වා නොහොත් බූරු මූනා නැමැති අපරාධකරුට පළායාමට සහය දුන් බවට සැකපිට බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (26) රාත්‍රී කාලයේ දී ශ්‍රමණයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙට්ටිපොල රිට්ටාදෙනිය ශ්‍රී ජය ලංකාරාම විහාරස්ථානයේ විහාරාධිපති පොත්තේවල ඉන්ද්‍රසාර (38), සහ එම විහාරස්ථානයේ සිටි දිවුල්වැවේ දීපානන්ද (41) යන ශ්‍රමණයින් දෙපළය.
ඔවුන් දෙදෙනා සමග ඔවුන් ගුවන්තොටුපල වෙත පැමිණි රතු පැහැති ඇල්ටෝ රථයත්, රථයේ රියදුරු ලෙස කටයුතු කළ අඹේවෙල, කළුබෝවිටියන පදිංචි කඹුරුගමුව වීරසිංහ ආරච්චිලාගේ දිලාන් පැතුම් ප්‍රසාද් (27) නැමැති අයෙකුත් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රමණයින් දෙපළ අත්අඩංගුවට ගත් පසු පන්සල වසා දමා එම පන්සලේ වැඩ වාසය කළ 11 හැවිරිදි සාමනේර හිමි නමක් සුදුසු භාරකාරිත්වයට පත් කිරීම සඳහා පොලිස් භාරයට ගෙන ඇත. ඔවුන් අපරාධකරුව මුදා ගැනීමට පසුගිය 24 දා කටුනායක පොලිසියට ගොස් ඇත්තේ මෙම කුඩා සාමනේර භික්ෂුව ද සමගය.
බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.