ශ්‍රී ලංකා ස්වාධීන පොලිස් කොමිසමේ සභාපති චන්ද්‍රා ප්‍රනාන්දු ඊයේ දිවයිනට පැමිණි පොහොට්ටුවේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ පිළිගැනීමට ගුවන් ප්‍රභූ පර්යන්තයට ගොස් ඇති ආකාරය අද (21) පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කෙරුණේය.
අද උදේ මේ සම්බන්ධව පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරනු ලැබුවේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර විසිනි.
ඔහු කතානායකවරයාගෙන් මෙසේ විමසා සිටියේය.
අපි සේරම එකතුවෙලා 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගත්තා. ඒකෙ පැහැදිලිවම තියනවා අපේ කොමිෂන් සභා ස්වාධීන කිරීම පිළිබඳව. ( සීඩී තැටියක් පෙන්වමින්)
මම මේ සීඩී එක සභාගත කරනවා කතානායක තුමනි. පොලිස් කොමිසමේ සභාපති චන්ද්‍රා ප්‍රනාන්දු සහ එහි සාමාජික එම්.පී පෙරේරා ඊයේ (20) බැසිල් රාජපක්ෂ පිළිගන්න ගුවන්තොටුපලට ගිහින් තියනවා.
එතකොට කොහෙද මේ ස්වාධීන කොමිසං…. වහාම ඔබතුමා මූලික වෙලා මේ හාදයො දෙන්නා කණෙන් ඇදලා එළියට දාන්න කටයුතු කරන්න. එහෙම නැතිනම් 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය කළාට වැඩක් නෑ. මේ වගේ කොමිසම් දාගෙන කොහොමද රටක් ඉස්සරහට යනනේ.
එදා ගුවන් තොටුපලෙන් එළියට යද්දි ගුවන්තොටුපලේ මිනිස්සු තමයි හොරාව, කපුටව අල්ලගත්තේ. දැන් කපුටව පිලිගන්න පොලිස් කොමිසමේ සභාපතිවරයා යනවා. මෙතනත් ඉන්නවා ලජ්ජ නැතිව ගිය මිනිස්සු.
ඒ නිසා කරුණාකරලා මේ පොලිස් කොමිසමේ සභාපති චන්ද්‍රා ප්‍රනාන්දුවයි එම්.පී පෙරේරාවයි කණෙන් ඇදලා එළියට දාන්න කියලා මං බොහොම ගෞරවයෙන් ඔබතුමාට කියනවා.
කතානායක – කොමිෂන් සභා අලුතින් පත් කිරීම හෙට අනිද්දා සිද්ධ වෙනවා.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ට්විටර් පණිවිඩයක් මගින් දන්වා තිබුණේ පොලිස් කොමිසමේ සභාපති චන්ද්‍රා ප්‍රනාන්දු ඊයේ බැසිල් පිළිගැනීමට පැමිණ ඔහු පළා යෑමට උත්සාහ කළ අවස්ථාවේ දී එම ස්ථානයට පැමිණීමට අපොහොසත් වීම පිළිබඳව වැඳ වැටී මෙන් සමාව ඉල්ලූ බව ගුවන් තොටුපල සේවකයින් තමාට පැවසූ බවය.