එප්පාවල, කිරලෝගම, ගැටදිවුල ප්‍රදේශයේ දී ඉකුත් 19 වැනිදා රාත්‍රී පැහැරගැනීමකට ලක් වී ඇති බව කියන පී. කේ. ගෞරව දෙනෙත් ප්‍රේමසුන්දර නමැති නව හැවිරිදි බාල වයස් කාර පිරිමි දරුවා බලහත්කාරයෙන් පැහැරගෙන නැති බවත් ඔහු සිය කැමැත්තෙන් දැනට පැහැරගැනීම් චෝදනා ලද විදුලි කාර්මික ශිල්පියා සමග ගොස් ඇති බවත් මෙතෙක් කරන ලද විමර්ශනවලින් පෙනී ගොස් ඇතැයි එප්පාවල පොලිසිය පවසයි.
විදුලි කාර්මික ශිල්පිය දරුවා ද රැගෙන තැනින් තැන සැරිසරමින් සිටින බව විමර්ශන අංශවලට තහවුරු වී ඇත.
කෙසේ වෙතත් භාරකරුවන්ගේ අනුදැනුමකින් තොරව බාල වයස්කාර දරුවෙක් දරුවාගේ කැමැත්තෙන් වුවද රැගෙන යෑම පැහැර ගැනීමක් වැනිම වරදක් බව පොලිසිය පෙන්වා දෙයි.
සිද්ධිය පිළිබඳ පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළ පසු පැහැර ගෙනයෑමට සම්බන්ධ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට තඹුත්තේගම මහෙස්ත්‍රාත් නුවන් කෞශල්‍ය එප්පාවල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුසන්ත ඒකනායක ඉලංගසිංහට නියෝග කර ඇත
මේ අතර එම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවල ප්‍රගතිය පිළිබඳව වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද මහෙස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කර තිබේ.
එමෙන්ම දරුවා පැහැරගෙන යෑමේ සිද්ධියට අදාළව සිදු කරනු ලබන විමර්ශන කටයුතු සඳහා අවශ්‍යවන දුරකථන විශ්ලේෂණ වාර්තා නොපමාව එප්පාවල පොලිසියට ලබා දෙන ලෙසට ද සියලු රාජ්‍ය හා පෞද්ගලික දුරකථන සමාගම්වල කළමනාකාරීත්වයට විනිසුරුවරයා නියෝග කළේය.
මේ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ පොලිසිය කියා සිටියේ දරුවා අතුරුදන් වීමේ සිද්ධියට අදාළව දරුවාගේ මව වන පුෂ්පා මල්කාන්ති නමැත්තිය විසින් එප්පාවල පොලිසියට පැමිණිල්ලක් කර ඇති බවය.
අතුරුදන්ව සිටින දරුවා සමග සමීප අසුරක් පවත්වා ගෙන ගිය විදුලි කාර්මික ශිල්පියකු විසින් තම දරුවා පැහැරගෙන යන්නට ඇති බවට සැක කරන බව දරුවාගේ මව සිය පැමිණිල්ලෙන් කියා සිටින බවත් මේ වන විටත් අදාළ සැකකරු ප්‍රදේශයෙන් පළා ගොස් සිටින බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇති බවත් පොලිසිය අධිකරණයට කියා සිටියේය.
අදාළ සැකකරු සහ අතුරුදන්ව සිටින දරුවා සෙවීමේ මෙහෙයුම් සඳහා පොලිස් කණ්ඩායම් තුනක් පත් කර ඇති බවත් පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේය.
දැනට සොයාගෙන ඇති කරුණු අනුව පසුගිය 19 දා සවස උපකාර පන්ති ගොස් පැමිණීමෙන් අනතුරුව රාත්‍රී කාලයේදී නිවැසියන්ට නොදන්වා මෙම පුද්ගලයා සමග දරුවා ඔහුට අයත් NC YI 1752 අංකය දරන ත්‍රී රෝද රථයේ නැගී ගොස් ඇත.
දරුවා එදින රෑ මාතලේ ඔහුගේ සහෝදරියගේ නිවසට රැගෙන ගොස් ඇත. කටුගස්තොට දරුවා ඉගනුම ලබන පාසලට ඇතුළත් කිරීම සඳහා යැයි පවසමින් පසුදින උදෑසන දරුවා එම නිවසින් ද රැගෙන ගොස් ඇත.
දරුවාගේ පියා යුද හමුදාවේ සේවය කරන අයෙකි. ඔහුට වැඩිමල් සොයුරියක් ද වේ. මෙම දැරවා පැහැරගෙන යනු ලබන්නේ කුමණ අරමුණකින්දැයි විමර්ශකයින්ට මෙතෙක් පැහැදිලි වී නැත.
එහෙත් දුරකථන දත්ත විශ්ලේෂණයේ දී මේ තැනැත්තා දරුවා රැගෙන තැනින් තැන සැරිසරමින් සිටින බව පෙනී ගොස් තිබේ. මෙම පුද්ගලයා ඉක්මනින්ම අත්අඩංගුවට ගත හැකිවනු ඇතැයි පොලිසිය කියයි.







