“බර්ලින් ග්ලෝබල්” සමුළුවට සහභාගිවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (27) අලුයම ජර්මනිය බලා පිටත්ව ගිය බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
රටවල් රැසක රාජ්‍ය නායකයන්ගේ සහභාගිත්වයෙන් සැප්තැම්බර් 28 සහ 29 දෙදින ජර්මනියේ බර්ලින් නුවරදී මෙම සමුළුව පැවැත්වේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සමුළුවේ පළමු දින රාජ්‍ය නායක සංවාදයේ සමාරම්භක දේශනය පැවැත්වීමට නියමිත බව ද ජනාධිපති මාධ්‍ය අංශය කියයි.
මෙම සමුළුව සඳහා ජර්මානු චාන්සලර් ඕලාෆ් ස්කොල්ස් (Olaf Scholz), බෙල්ජියානු අග්‍රාමාත්‍ය ඇලෙක්සැන්ඩර් ඩී ක්‍රෘ (Alexander de Croo), කසකස්ථාන් ජනාධිපති කැසෙම්-ජෝමාර්ට් ටෝකයෙව් (Kassym-Jomart Tokayev), යුරෝපා කවුන්සිලයේ සභාපති චාර්ල්ස් මිචෙල් (Charles Michel) ඇතුළු රටවල් රැසක රාජ්‍ය නායකයින්, විදේශ අමාත්‍යවරුන් සහ ලොව පුරා සිටින ආර්ථික ප්‍රතිපත්ති හා මූල්‍යකරණය පිළිබඳ විශේෂඥයින් සහභාගී වනු ඇත.
එමෙන්ම මෙම සංචාදය සඳහා ලෝකයේ ප්‍රධාන පෙළේ සමාගම් රැසක විධායක නිලධාරීන් ද සහභාගී වීමට නියමිතය.
පෙරදිග ජර්මානු රාජ්‍ය කවුන්සිලයේ මෙන්ම එක්සත් ජර්මනියේ ෆෙඩරල් චාන්සලර් නිවහන වූ, ඓතිහාසික ස්ථානයක් වන යුරෝපීය කළමනාකරණ සහ තාක්ෂණික පාසල් (ESMT) මණ්ඩපයේ දී සමුළුව පැවැත්වේ.
ෙජනාධිපතිවරයා සිය ජර්මන් නිල සංචාරයේ දී ජර්මන් චාන්සලර් ඔලාෆ් ෂෝල්ස් (Olaf Scholz) මෙන්ම ජර්මනියේ ප්‍රධාන පෙළේ අමාත්‍යවරුන්, ජර්මානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ජර්මානු වාණිජ හා කර්මාන්ත මණ්ඩල සංගමයේ (DHIK) සාමාජිකයින් ද හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත.
මෙම නිල සංචාරය අතරතුර ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක විසින් ජර්මානු චාන්සලර්වරයාගේ විදේශ කටයුතු හා ආරක්ෂක ප්‍රතිපත්ති පිළිබඳ උපදේශක ජෙන්ස් ප්ලොට්නර් (Jens Plötner) හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන විසින් ජර්මානු විදේශ කටයුතු පිළිබඳ කාර්යාලයේ රාජ්‍ය ලේකම් ආචාර්ය තෝමස් බැගර් (Dr. Thomas Bagger) හමුවී සාකච්ඡා පැවැත්වීමට ද නියමිතව ඇත.
ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, මුදල් අමාත්‍යාංශයේ උපදේශක ආර්ථික විද්‍යාඥ දේශාල් ද මෙල් ජනාධිපතිවරයා සමඟ මෙම සංචාරයට එක්ව සිටින අතර ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති වරුනි මුතුකුමාරණ ද සාකච්ඡා සඳහා සහභාගී වනු ඇත.