පකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට බන්ධනාගාරය තුළ වස දී ඝාතනය කිරිමේ අවදානමක් ඇතැයි ඔහුගේ බිරිය වූ බුෂ්රා බිබී පන්ජාබ් ස්වදේශ ලේකම් වෙත ලිඛිතව දන්වා තිබේ..
Geo News වාර්තාවකට අනුව බුෂ්රා බිබී පන්ජාබ් ස්වදේශ ලේකම්වරයා වෙත පවසා ඇත්තේ හිටපු අග්‍රාමාත්‍යවරයෙක් මෙන්ම පකිස්ථාන ටෙහ්රීක් – ඊ- ඉන්සාෆ් ( පීටීඅයි) පක්ෂයේ නායකයාවන සිය සැමියාගේ ආරක්ෂාව පිළිබඳ තමන් දැඩි කනස්සල්ලෙන් පසුවන බවත්, ඔහුට ඇටෝක් සිරගෙදරදී ‘වස පෙවිය හැකි’ බවත් ය.
බුෂ්රා බීබී පන්ජාබ් ස්වදේශ කටයුතු ලේකම් වෙත යැවූ ලිපියේ දක්වා ඇත්තේ තම ස්වාමිපුරුෂයා රාවල්පින්ඩි හි අඩියාලා බන්ධනාගාරයට ගෙන යන ලෙස අධිකරණය විසින් අදාළ බලධාරීන්ට නියෝග කර තිබිය දී මේ ආකාරයෙන් ඇටොක්සි සිර ගෙදර රඳවා තබාගෙන සිටින බවය.
පීටීඅයි ප්‍රධානියා ඔක්ස්ෆර්ඩ් උපාධිධාරියෙකු සහ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු බැවින් ඔහුගේ සමාජ හා දේශපාලන තරාතිරම අනුව බන්ධනාගාරයේ බී පන්තියේ පහසුකම් ලබා දිය යුතු බවත ්ඇය පන්ජාබ් ස්වදේශ ලේකම් වෙත සිහිකර ඇත.
එමෙන්ම මීට පෙර ඛාන් ඝාතනය කිරීමට තැත් කිරීම් දෙකක් සිදු කර ඇති නමුත් ඊට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවත් ඇය පෙන්වා දී තිබේ.
මේ අවදානම මත හිටපු අගමැතිවරයෙක්වන සිය සැමියාට නිවසේ පිසූ ආහාර සහ නිවසින් රැගෙන එන ජලය පානය කිරීමට අවසර ලබා දෙන ලෙසද ඇය ඉල්ලා තිබෙන බව විදෙස් මාධ්‍යය කියයි.
බන්ධනාගාර නීතිය අනුව ඔහුට පැය 48ක් ඇතුළත සියලු පහසුකම් සැලසීමට නියමිතව තිබූ නමුත් දින 12ක් ගතවී ඇතත් ඒවා ලබාදී නොමැති බවත් බන්ධනාගාර නීතිවලට අනුව ඔහුට පෞද්ගලික වෛද්‍යවරයෙක් ලවා වෛද්‍ය පරීක්ෂන කර ගැනීමට අයිතියක් ඇති බවත් පෙන්වා දෙන ඇය හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට මෙම පහසුකම් ලබා නොදීම සම්බන්ධව පරීක්ෂණයක් ද ඉල්ලා සිටින්නීය.
හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් 2018-22 ධුර කාලය තුළ විදේශ ප්‍රභූවරුන්ගෙන් ලැබුණු රාජ්‍ය තාන්ත්‍රික ත්‍යාග විකිණීම සම්බන්ධයෙන් වරදකරු වී වසර තුනක සිර දඬුවමක් විඳිමින් සිටින්නේය.