ලලිත් චාමින්ද –
බැක්ටීරියාවක් ආසාදනය වීමෙන් ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් අටදෙනකු මේ වන විට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බැව් ගාල්ල බන්ධනාගාර අධිකාරී කාර්යාලය පවසයි .
හදිස්සියේ ඇති වූ ස්වසන අපහසුතා හේතුවෙන් ඊයේ පස්වරුවේ ද රැඳවියන් තිදෙනෙකු ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බැව් ගාල්ල බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි .
මෙකී බැක්ටීරියාව ආසාදනය වීමෙන් රැඳවියන් දෙදෙනෙකු මීට දින කිහිපයකටපමණ ඉහතදී කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින්සිටියදී මිය ගියහ .
බැක්ටීරියාවක් ආසාදනය වීමෙන් මෙනින්ගොකොකල් නැමැති රෝගය වැළඳීමෙන් මෙකී රැඳවියන් දෙදෙනා මිය යන්නට ඇති බවට සැක කෙරේ .
මෙකී රැඳවියන් දෙදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දී සිදු කොට ඇති අතර පටක වේද පරීක්ෂණ සඳහා සාම්පල් ලබා ගත් බැව් අධිකරණ වෛද්‍ය නිලධාරී සමාධි දන්දෙණිය ආරච්චි සඳහන් කළාය .මෙකී මරණ සම්බන්ධ විවෘත තීන්දුවක් ලබා දී ඇත .
බැක්ටීරියාවක් ශරීරගත වීමෙන් මෙම මරණ සිදු වී ඇති බවට සැක කෙරේ. මෙකී බැක්ටීරියාව ප්‍රතිශක්තිකරණය අඩු පුද්ගලයන්ගේ සිරුරුවලට ඉතා ඉක්මනින් ඇතුළත් වන බව ද වසංගත රෝග විද්‍යා ඒකකයේ වෛද්‍යවරයකු සඳහන් කළේය .
නාස් පුඩුවල ඇතුළත මෙම බැක්ටීරියාව තිබිය හැකි බවත් එය ශරීරගත වීමෙන් මරණය සිදුවිය හැකි බවට වෛද්‍යවරු පවසති .
මෙකී බැක්ටීරියාව ගාල්ල බන්ධනාගාරය තුළ ව්‍යාප්ත වීමත් සමග බන්ධනාගාර රැදවියන්ට සහ නිලධාරීන්ට මුඛ ආවරණ පැලඳීම සඳහා උපදෙස් ලබා දී ඇති බැව් ගාල්ල බන්ධනාගාර අධිකාරී කාර්යාලය පවසයි .
මේ පිළිබඳ ගාල්ල දිස්ත්‍රික් වසංගත ඒකකය මගින් ද පරීක්ෂණයක් ආරම්භ කොට ඇත.