මින්පසු කිසිදිනක බඩුමිල අඩු වැඩි කිරීම් හෝ උපරිම සිල්ලර මිල සම්බන්ධ කිසිදු නිල ප්‍රකාශයක් මාධ්‍යයට නොකිරීමට තමන් තීරණය කළ බවත් එය තමන්ට අයිති නැති පාරිභෝගික රාජ්‍ය අමාත්‍යවරයාට අයත් එකක් බවත් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද ප්‍රකාශ කළේය.
සතොස ආයතනයේ සුදුලූනු වංචාව පිළිබඳව දැනුවත් කිරීම වෙනුවෙන් අමාත්‍යංශයේ දී පැවැති මාධ්‍ය හමුවක් ඇමතූ බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා, සතොස ආයතනයේ සුදු ලූනු වංචාවක් සිදු වූ බවත් එය වංචාවක් බව තමන් පිළිගන්නා බවත් ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මේ වන විට පරීක්ෂණයක් පැවැත්වෙන බවද සඳහන් කළ අතර දේශපාලන පත්වීමක් මත අධ්‍යක්ෂ ධුරයක් ලබා ගත් පාරිභෝගික කටයුතු අධිකාරියේ විධායක අධ්‍යක්ෂවරයා මෙම වංචාවට තමන් සම්බන්ධ බවට ප්‍රකාශ කළේ නම් ඒ බව සාක්ෂි සාධක සහිතව ඔප්පු කර පෙන්වන ලෙසට බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා අභියෝග කර සිටියේය.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, “සතොස ආයතනය කියන්නේ හොර ගුහාවක්. පහුගිය කාලය තුළම විවිධ වංචා සිද්ධ වී තිබෙනවා. මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සතොස ආයතනයට එරෙහිව පරීක්ෂණ පහක් පැවැත්වෙනවා. එයින් එකක් CCTV කැමරා පද්ධතියක් සවි කිරීම සම්බන්ධයෙන් රුපියල් මිලියන 200 කට අධික මුදලක් වංචා කිරීම, සතොස ආයතනය පරිගණකගත කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 300 ක වංචාවක්, ලක් සතොස ගොඩනැගිලි ලබා ගැනීමේදී රුපියල් මිලියන 200 ක වංචාවක්, ලක් සතොස ප්‍රාග්ධනීකරණය කිරීම සඳහා රුපියල් මිලියන 450ක වංචාවක් සහ ආහාරයට නුසුදුසු සහල් මෙට්‍රික් ටොන් 86000ක් වෙනුවෙන් රුපියල් මිලියන 3000ක් සම්බන්ධයෙන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වනවා.
අපට ප්‍රශ්න වෙලා තියෙන්නෙ පහුගිය කාලයේ සිදුවුණු දැවැන්ත හොරකම් මෙම ආයතනයෙන් ඉවත් කිරීමයි. ඒ සඳහා අපි මේ පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී තිබෙන්නේ. ඊට අමතරව වෙලා තියෙන්නේ පසුගිය දවස්වල සභාපතිවරයා කොළඹින් පිට සිටින අවස්ථාවක රේගුවෙන් නිදහස් නොකළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සතොස හරහා ලබාගෙන පාරිභෝගිකයන්ට අඩු මිලකට විකිණීම සඳහා අප අනුමත කරගත් කැබිනට් පත්‍රිකාව භාවිත කරමින් මෙම සුදුළූණු තොගය වරායෙන් නිදහස් කරගෙන තිබෙනවා. ඒවා පාරිභෝගිකයන්ට විකුණනවා වෙනුවට වෙනත් මහා පරිමාණ ව්‍යාපාරිකයෙකුට තොග පිටින් විකිණීමක් මෙහිදී සිදුව තිබෙනවා. ඒ ගැන පරීක්ෂණයක් කළ යුතුයි. නමුත් මේ සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරියේ දේශපාලන පත්වීම් ලද විධායක අධ්‍යක්ෂවරයෙක් මෙම මහා පරිමාණ වංචාව අපි දැනුවත්ව කල එකක් බවට මාධ්‍ය හරහා ප්‍රකාශ කර තිබෙනවා. මම මේ වන විට එම අධ්‍යක්ෂක වරයාට එරෙහිව පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා. මම ඒ වංචාවට සම්බන්ධ නම් කොහොමද සම්බන්ධ වුණේ මොන ආකාරයෙන් ද කියන එක සාක්ෂි සාධක සහිතව තහවුරු කරන්න කියලා. මම කිසි දිනෙක එවැනි වංචා දූෂණවලට සම්බන්ධ වුණු කෙනෙක් නෙවෙයි. මගේ අමාත්‍ය ධුර කාලය තුළ විවිධ කෝටි ප්‍රකෝටි ගණන් වැය වන ව්‍යාපෘති වලට මම සම්බන්ධ වෙලා තිබෙනවා. ඒ කිසිම අවස්ථාවක මා හොරකම් කළා කොමිස් ගැහුවා කියා කිසිදු චෝදනාවක් මට එල්ල වී නැහැ. එවැනි තත්ත්වයක් තිබියදී මේ වුණ වංචාවට මාව සම්බන්ධ කිරීම දේශපාලන පත්වීමක් ලද අධ්‍යක්ෂවරයෙක් මා මෙලෙස සම්බන්ධ කිරීම ගැටලු සහගතයි. මම කිසිදු දිනෙක පාරිභෝගික අධිකාරියේ කිසිදු අධ්‍යක්ෂවරයකුට බලපෑම් කරන ඔවුන් රැස්වීම් වලට කැඳවාගෙන නැහැ. හේතුව පසුගිය අමාත්‍ය මණ්ඩල පත් කිරීම වල දී පාරිභෝගික අධිකාරිය ඔය කියපුවා දී තිබෙන්නේ පාරිභෝගික ආරක්ෂාව පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාට. එබැවින් මට කිසිදු නිල සම්බන්ධතාවක් පාරිභෝගික අධිකාරිය සමඟ නැහැ. ” යනුවෙන් ද ප්‍රකාශ කළේය.