වර්තමාන රජයේ බදු ප්‍රතිපත්තිය සම්පූර්ණ කිඹුලා බනිස් ගෙඩියක් කන්න යැයි පවසා එකවර උගුරට ඔබන්නාක් බඳු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.
ඔහු මේ බව පැවසුවේ ආර්ථිකයේ නිවැරදි දිශාව නමින් විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේ දී ය.
රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අත්සන් කළ ගිවිසුම් මුදල් කාරක සභාවටවත් තවම ගෙනැවිත් නැති බව ද ඒකාධිපතියන් ලෙස හිතුමතේට වැඩ කරමින් රට විනාශ කොට රට දුගී රටක් ලෙස නම් කරනා බව ද ඔහු පැවසීය.
ආර්ථික ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය බව විපක්ෂය ලෙස තමන් පිළිගන්නා බවත් එය කළ යුත්තේ ජනතාව හා රටේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවාසයකයින් විනාශ නොකරමින් බවත් ඔහු පෙන්වා දුන්නේය.
සැප්තැම්බර් මාසයේ අග සිට වරින් වර විවිධ බදු ගෙන එමින්, විදුලි බිල්, ජල බිල් ඇතුළු ගෙවීම් ද වැඩි කරමින් සියලුම භාණ්ඩවල මිල ද අධික ලෙස ඉහළ යමින් පවතින මොහොතක කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මත තවත් බදු බර පැටවීම සුදුසු නොවන බව ද ඔහු පැවසීය.
“ගෝඨාභය රාජපක්ෂ මහින්ද රාජපක්ෂලා බලයට ඇවිත් මංගල සමරවීර, එරාන් වික්‍රමරත්න මුදල් අමාත්‍යංශයෙන් ගෙනාපු ටැක්ස් සේරම අයින් කළා. ඒ කාලේ ලක්ෂ හයෙන් හයට සීයට 4න් 4 බදු වැදිලා 24දී නවතිනවා. මේ සේරම අහකට දාලා බදු අයින් කරලා රට සෞභාග්‍යය කරා යනවා කිව්වා.
නූතන මුදල් න්‍යාය කියලා එකක් පෙන්නගෙන මුදල් අච්චු ගැහුවට කමක් නෑ කියලා පිස්සු විකාරයක් කතා කරලා බදු වෙනුවට මුදල් අච්චු ගහලා භාණ්ඩාගාරය පිරෙව්වා.. අපි කිව්වා උද්ධමනය වැඩි වෙනවා කියලා.. ඇහුම්කන් දුන්නේ නෑ.. දැන් ආයෙමත් වෙන වෙන නම්වලින් බදු එකතු කරනවා..”
මේ සම්බන්ධයේන අදහස් පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් පැවසුවේ ආණ්ඩුවේ නව බදු ප්‍රතිපත්ති හරහා දේශීය ව්‍යාපාර අංශය, අපනයන ආයතන, පෞද්ගලික අංශ ආදියේ සේවක සේවිකාවන්ට මරණ වරෙන්තුවක් නිකුත් කර ඇති බවයි.
නව බදු ප්‍රතිපත්ති අනුව මධ්‍යම පරිමාණ ආයතනවල බදු සීයට 14 සිට සීයට 30 දක්වා වැඩි වී තිබේ. මෙතක් ලක්ෂ 30ට වැඩි වැටුපක් ලබනා විධායක නිළධාරීන්ගෙන් බදු මුදලක් ලබා ගත් අතර එය ලක්ෂ 15ක වැටුප් ප්‍රමාණයක් දක්වා අඩු වී ඇත.
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්තයේ නියැලෙන පුද්ගලයින් ගෙවන බද්ද සීයට 14 සිට සීයට 30 දක්වා වැඩි කර ඇති බව ද එහි කිසිදු සාධාරණයක් නොමැති බව ද කබීර් හෂීම් පෙන්වා දුන්නේය.







