කොළඹ වරාය නගරය ආශ්‍රිත කෘත්‍රිම වෙරළ තීරයේ පිහිනමින් සිටියදී ඊයේ (26) උදෑසන අතුරුදන් වූ විශ්වවිද්‍යාල සිසුවා සොයා මෙහෙයුම් ආරම්භ කර තිබේ.
මෙම සිසුවා අතුරුදහන් වන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ හා මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් ස්නෝකල් පැළඳ මුහුදු පතුළ නිරීක්ෂණය කරමින් සිටින අතරය.
ඒ පිළිබඳව කොළඹ වරාය පොලීසියට දැනුම් දීමත් සමග සිසුවා සෙවීමේ මෙහෙයුම් ආරම්භ විය.
ඒ අනුව අතුරුදන්වූ සිසුවා පැළඳ සිටි ස්නෝකලය ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ, වයස අවුරුදු 24ක් වන ගම්පහ, අස්ගිරිය ප්‍රදේශයේ පදිංචි සිසුවෙකි.
අතුරුදන් වූ සිසුවා සොයා කොළඹ වරාය පොලීසිය, නාවික කොට්ඨාසයේ කිමිඳුම්කරුවන්, රංගල නාවික හමුදා කිමිඳුම්කරුවන් ඒකාබද්ධව මෙහෙයුම් දියත් කර ඇත.
කොළඹ වරාය පොලීසියේ මූලිකත්වයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.







