මනම්පිටිය නිමල් ජයරත්න –
පොළොන්නරුව මඩකළපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය කොළකනාවාඩිය ප්‍රදේශයේ මහ මගට යාබද නිවසක ගෙවත්තේ දී අද (21) අලුයම වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වීමත් සමග ප්‍රදේශවාසී පිරිසක් මඩකලපුව පොළොන්නරුව ප්‍රධාන මාර්ගය කොළකනාවාඩිය ප්‍රදේශයෙන් අවහිර කරමින් වන අලි ගැටලුවට විසඳුම් ඉල්ලා විරෝධතාවයක නිරත වූහ.
ප්‍රධාන මාර්ගයේ වීදි ලාම්පුවක් නිවීම සඳහා අළුයම නිවසින් එලියට ගිය පුද්ගලයෙකුට ගෙවත්තේ සිටි වන අලියෙක් විසින් මෙම ප්‍රහාරය එල්ල කර තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ මනම්පිටිය කොළකනාවාඩිය ලිපිනයේ පදිංචි 69 වියති සිව්දරු පියකු වන එම්. හමාල්දීන් පවුසර් නැමැත්තෙකි.
වන අලි ප්‍රහාරයෙන් එම් පුද්ගලයා මියගොස් පැයක් ගත වන්නටත් පෙර ප්‍රදේශවාසීන් එක්ව මෙම විරෝධතාවය ආරම්භ කළහ.
මෙම ප්‍රදේශයේ මීට පෙර වන අලි ප්‍රහාරවලින් තිදෙනකු මියගොස් ඇති බව ප්‍රදේශවාසීහු කීහ. ඔවුන් පවසන්නේ උග්‍රවන වන අලි ගැටලුව හේතුවෙන් සිය දරුවන් පාසලට යැවීමට නොහැකි තත්ත්වයක් මේ වනවිට ප්‍රදේශයේ නිර්මාණය වී ඇති බවය.
විරෝධතාවය අතරතුර මෙම ස්ථානයට පැමිණි මනම්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල සරත් කුමාර ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විරෝධතාකරුවන් විසුරුවා හැරීමට කටයුතු කළහ.
අනතුරුව ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනයට අවශ්‍ය පරිසරයය පොලිසිය විසින් සකසා දුන් අතර මෙම සිද්ධියත් සමඟ විරෝධතාකරුවන් සහ පොලිසිය අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති විය.