මනම්පිටිය නිමල් ජයරත්න –
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින් සාකච්ඡා කර, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පොදු අපේක්ෂකයා වශයෙන් රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්නේ නම්,ඔහුට සියයට පන්සියයක්ම සහාය ලබාදෙන බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ, පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලීමේන්තු මන්ත්‍රි ජගත් සමරවික්‍රම සඳහන් කළේය.
වැටී තිබුණු රට ගොඩ ගැනීමට රනිල් වික්‍රමසිංහ විශාල කැපකිරීමක් සිදුකළ බවත්, රටේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා යම් සාධාරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටින බවත් ජගත් සමරවික්‍රම කීවේය.
ඔහු මේ බව සඳහන් කළේ අද (28) සිරිපුර ප්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවකදී ය.
දිවංගත ජේ.ආර් ජයවර්ධනගෙන් පසුව මේ රට සංවර්ධනය කිරීමට හොඳ මොළයක් ඇත්තේ රනිල් වික්‍රමසිංහට බවද මෙහිදී ජගත් සමරවික්‍රම කීය.
ඉදිරි ජනාධිපතිවරණයේදී, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෝ නාමල් රාජපක්ෂ බවත්, එය තව නොබෝ දිනකින් තීරණය කිරීමට අදාළ සාකච්ඡා පැවැත්වෙන බවත් ජගත් ඔහු කීවේය.
පොහොට්ටුවට හැමෝම කැමති නැති බව කී සමරවික්‍රම එබැවින් පොදු අපේක්ෂකයා ලෙස බොහෝ දුරට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් විය හැකි යැයි හෙතෙම පෙන්වා දුන්නේය. රනිල් ඉදිරිපත් වෙන්නේ නම් ඒ සඳහා සියයට පන්සියයක් ඔහුට සහය දෙන බවද සමරවික්‍රම මෙහිදී සඳහන් කළේය.
මේ වනවිටත් රනිල් වික්‍රමසිංහ ගත යුතු තීරණ රට වෙනුවෙන් රැගෙන ඇති බවත්, රටේත්, ජනතාවගේත්, සංවර්ධනය වෙනුවෙන් කළ යුතු වැඩ නිසියාකාරයෙන් සිදු කරන බවත්, ගම්මානවල සංවර්ධනය උදෙසා ඔහුගේ සහයෝගය පසුපෙළ මන්ත්‍රීන්ට ලැබි තිබෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් සමරවික්‍රම වැඩිදුරටත් කීවේය.