2024 ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට සහාය දැක්වීම සඳහා එක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට එරෙහිව වහාම විනය ක්‍රියාමාර්ග ගෙන ඔවුන් පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීමට තීරණය කර ඇති බව පොහොට්ටුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
ඒ, සම්බන්ධයෙන් වන ලිපි කඩිනමින් එම මන්ත්‍රීවරුන් වෙත යොමුකිරීමට කටයුතු කරන බව එම ආංචි මාර්ග කියයි.
ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එහි දේශපාලන මණ්ඩලය පසුගියදා රැස්වූ අවස්ථාවේ දී මෙම තීන්දුව ගෙන තිබේ.
පක්ෂ සාමාජිකත්වය අහෝසිවීමෙන් පසු එම පුද්ගලයින් දරන මන්ත්‍රී ධූරද අහෝසිවන නමුත් මෙම ක්‍රියාවලියට ගතවන කාලය දෙස බලන විට පාර්ලිමේන්තුවත් විසුරුවා හැර මහ මැතිවරණයක් ප්‍රකාශයට පත් කර අවසන් විය හැකි බැවින් මෙවැනි තීන්දු ප්‍රායෝගික නොවන බව පොහොට්ටුවේ තීරණයට එරෙහි වී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය පල කිරීමට ගිය එස්.එම්.චන්ද්‍රසේන මින් පෙර අවස්ථාවක පැහැදිලි කළේය.
මේ වනවිට පොහොට්ටුවේ තීන්දුවට විපක්ෂ වූ මන්ත්‍රී කණ්ඩායම වෙනත් සන්ධානයක් පිහිටුවාගෙන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය දීමට එක් වීමට තීන්දු කර තිබේ. එම සන්ධානය මේ ඉදිරි දින කීපය තුළ බිහිවනු ඇතැයි රාජ්‍ය ඇමති කණක හේරත් ප්‍රකාශ කර තිබිණි.







