ඊයේ (19) මුරුතලාව ඉලුක්තැන්න ප්‍රදේශයේ දී පුද්ගලයෙක් පොලිස් වෙඩිපහරට ලක් වී බරපතල තුවාල ලැබ මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
පොලිිසය පැවසුවේ ගෙවල් බිදුම් ඇතුළු විවිධ සොරකම් හා කොල්ලකෑම් සිදුකර ඇතැයි චෝදනා ලද සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ පොලිස් නිලධාරියෙකුට පහර දී පලා යෑමට උත්සාහ කරන විට පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් ඔහු තුවාල වී ඇති බවය.
කටුගස්තොට වතුවල පදිංචි සැකකරු මුරුතලාව ඉලුක්තැන්න ප්‍රදේශයේ නිවසක සැඟව සිටින බවට ලද තොරතුරක් මත අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ මෙම වෙඩි තැබීම සිදුකර තිබෙන බවත් පොලීසිය පැවසුවේය.
එහෙත් මේ සිද්ධිය ඇසින් දුටු පිරිස් සහ ඔහුගේ ඥාතීන් පවසන්නේ මෙම පුද්ගලයා කිසිම ආකාරයකින් පොලිසියට පහර දීමට හෝ එරෙහි වීමට උත්සාහ නොකළ බවය.
බියපත් වී සිටි ඔහු පොලිසිය දැක පලා යන්නට සැරසෙද්දී පොලිිසිය වෙඩි තැබූ බවත්, එම වෙඩි පහර ඔහුගේ බඩට ඉහළින් වැදී බරපතල තුවාල සිදුවී ඇති බවත් ඥාතීහු පවසති.
දකුණු ඉල ප්‍රදේශයෙන් වෙඩි උණ්ඩය ඇතුළු වීම නිසා බරපතළ තුවාල ලත් සැකකරු පොලිස් නිලධාරීන් විසින්ම ත්‍රිරෝද රථයෙන් රැගෙන ගොස් පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. සැත්කමකට ලක් කිරීම සඳහා පසුව ඔහු මහනුවර ජාතික රෝහලට මාරුකර එවා ඇත.
පොලිසිය කියන්නේ වෙඩි ප්‍රහාරයට ලක් වූ සැකකරු හා එක්ව විවිධ කොල්ලකෑම් සිදුකළ කටුගස්තොට පොලිස් වසමේ වතුවල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේ දී ලද තොරතුරු මත ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා මුරුතලාව ඉලුක්තැන්න ප්‍රදේශයේ නිවස වැටලීමට කළ අවස්ථාවේ දී මෙම වෙඩි තැබීම සිදු කළ බවය.
වෙඩි ප්‍රහාරයට ලක් වූ සැකකරුත්, ඔහු සම්බන්ධව තොරතුර කී සැකකරුත් අධිකරණ වරෙන්තු තිබෙන පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අලදෙණිය පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.එම්.ජී සේනාරත්න ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි