අලූත්කඬේ මහේස්ත‍්‍රාත් අධිකරණය ඉදිරිපිට විරෝධතාවයේ නිරත නීතීඥයින් පිරිසක් සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලිසිය අධිකරණයට ගොනුකර තිබූ බී වාර්තාව ඉල්ලා අස්කරගෙන ඇත.
එම බී වාර්තාව කෙසෙල්වත්ත පොලිසිය විසින් ඉල්ලා අස්කරගෙන ඇත්තේ අද නඩුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ඉදිරියේ කැඳවූ අවස්ථාවේ දී ය.
එම වාර්තාව ඉදිරිපත් කළේ නඩු කටයුත්තක් සඳහා නොවන බවත් එය බහා තබන ලෙසත් කෙසෙල්වත්ත පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
නීතිඥයන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස පෙනී සිටියේය.
මෙම බී වාර්තාව පිළිබඳ බරපතල ප්‍රශ්නයක් පොලිසිය තුළම ඇති වී තිබිණි. බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ නියම මත කෙසෙල්වත්ත පොලිසිය විසින් මෙම බී වාර්තාව උසාවියට ගොනු කර තිබුණේ නීතිපතිවරයා විසින් මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරුවරුන් සම්බන්ධව සිදුකරන ලදැයි කියන බලපෑමකට විරෝධතාවය දැක්වූ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතිඥවරු පිරිසකට එරෙහිවය.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට මෙම බී වාර්තාව කෙසෙල්වත්ත පොලිසිය විසින් ඉදිරිපත් කර තිබුණේ පොලිස්පතිවරයාගේ හෝ පොලිස් මූලස්ථානයේ නීති අංශයේ දැනුම්වත්වීමකින් තොරවය.
අදාල ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ගෙන් වාර්තාවක් කැඳවා තිබිණි.
නීතිපතිවරයා අධිකරණයට කරන ලදැයි කියන අතපෙවීම් හෙළා දකිමින් පසුගිය ජනවාරි 18 වැනිදා අදාල උද්ඝෝෂණයට ජ්‍යෙෂ්ඨ නීතිඥ ගුණරත්න වන්නිනායක, නුවන් බෝපගේ, සේනක පෙරේරා ඇතුළු නීතීඥවරුන් පිරිසක් එක් වී සිටියහ.
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ (අවිශිබම) කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමිට එරෙහිව පවරා ඇති නඩුව විභාග කිරීමෙන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්තගෙන් වැළැක්වීමට නීතිපතිවරයා ගත් උත්සාහය හෙළා දකිමින් නීතිඥවරු මෙම විරෝධතාව සංවිධානය කළහ.
මැතිවරණ නීති සහ ජාතික මංමාවත් පනතේ විධිවිධාන උල්ලංඝනය කරමින් විරෝධතාවක් සංවිධානය කර ඇති බවට චෝදනා කරමින් කෙසෙල්වත්ත පොලිසිය උක්ත බී වාර්තාව ඉදිරිපත් කර තිබිණි. .