මැතිවරණ කොමිසමේ සාමාජිකයින් පස්දෙනාගේම එකඟත්වයකින් යුතුව මාර්තු 09 දා මැතිවරණ දිනය ලෙස ප්‍රකාශ කිරීමට අදාල ගැසට් පත්‍රයට මැතිවරණ කොමිසමේ සාමාජිකයින් තවමත් අත්සන් කර නැතැයි මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග පවසයි.
මැතිවරණ දිනය ගැසට් මගින් ප්‍රකාශ නොකිරීම සම්බන්ධව සමාජය තුළ සංවාදයක් ඇතිවූයේ මානව හිමිකම් කොමිසමේ හිටපු සභාපති අචාර්ය ප්‍රතිභා මහානාමහේවා මාධ්‍යයට ප්‍රකාශක් කරමින් කොමිසම ගණපූරණය නොමැතිව ගන්නා කිසිම තීරණයක් වලංගු නොවන පැවසීමත් සමගය.
පළාත් පාලන මැතිවරණය මාර්තු 9 දා පැවැත්වෙන බවට මැතිවරණ කොමිසම මාධ්‍ය නිවේදන නිකුත් කළත් තවමත් මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කර ගැසට් නිවේදනය නිකුත් කර නැතැයිද මැතිවරණ නීතිය අනුව කළ යුත්තේ මැතිවරණ දිනය මාධ්‍යයට ප්‍රකාශ කිරීම නොව එය ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කිරීම බවද ඔහු පෙන්වා දුන්නේය.
මේ සම්බන්ධව මැතිවරණ කොමිසමේ බලධාරියෙකුගෙන් ලංකාසර කළ විමසීමක දී ඔහු පැහැදිලි කළේ ගැසට් පත්‍රය සඳහා අත්සන් කළත් නැතත් එය මැතිවරණය තැබීම සඳහා බාධාවක් නොවන බවය.
මීට ඉහතදී ඇතැම් පළාත් පාලන මැතිවරණ සඳහා ඡන්දය පැවැත්වීමට සතියකට පෙර ඡන්දය පවත්වන දිනය ගැසට් කළ අත්දැකීම් ඇති බව පෙන්වා දුන් ඔහු එය කිසිසේත්ම මැතිවරණය පැවැත්වීම සඳහා ප්‍රශ්නයක් ඇති නොකරන බව පෙන්වා දුන්නේය.
මැතිවරණයේ ඉදිරි කටයුතු සාකච්ඡා කිරීම සඳහා අද පක්ෂ ලේකම්වරුන් සහ ස්වාධීන කණ්ඩායම් සමග රාජගිරිය මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ දී පැවැත්වූ සාකච්ඡාවේ දී මැතිවරණ කටයුතු සඳහා අවශ්‍ය මූලික පුනරාවර්තන වියදම් ලෙස රුපියල් බිලියන 03 ක මුදලක් වහාම ලබා දෙන ලෙස භාණ්ඩාගාරය වෙත ලිඛිත ඉල්ලීමක් කිරීමට තීරණය වී ඇත.
එම ඉල්ලීම හෙට (25) දිනයේ දී කිරීමට තීන්දු වී තිබේ.