ජාතික විදුලිබල පද්ධතිය දකුණු පළාත සමග සම්බන්ධ කරන සම්ප්‍රේෂණ රැහැනෙහි රත්නපුර සිරිපාගම ප්‍රදේශයේ ඉඩමක් හරහා දිවෙන කොටස පිළිබඳව විදුලිබල මණ්ඩලය සහ එම ඉඩම් හිමියන් අතර ඇති වී තිබූ දීර්ඝ කාලීන ගැටුම නිමා කරමින් ඉඩමෙහි හිමිකරුවන් වන රත්නපුර ප්‍රදේශයේ උත්පල ආටිගල ප්‍රමුඛ ආටිගල පවුලේ සාමාජිකයින් ඉඩම කිසිදු වන්දියකින් තොරව රජයට පරිත්‍යාග කිරීමට (11) අද එකඟතාවය පළ කළේය.
රටේ වත්මන් විදුලි අවශ්‍යතාව පිළිබඳ සැලකිල්ල දක්වමින් පොදු ජනතාවට අපහසුවක් නොවන පරිදි අඛණ්ඩ විදුලි සැපයුමකට දායකවීම සඳහා අදාළ තීරණය ගත් බව ඔවුහු ප්‍රකාශ කර තිබිණි.
සැබෑ ලෙසම මෙම ප්‍රශ්නය ඇති වී තිබුණේ යම් අසාධාරණ තීරණයක් පදනම් කරගෙන බව මෙම සමථකරණයේ දී හෙළි වූයේය.
විදුලිබල මණ්ඩලය සහ ඉඩම් හිමියන් අතර ආරවුල පැන නැගී තිබුනේ සම්ප්‍රේක්ෂණ රැහැන් ස්ථාපිත කරන විට ඉඩම් හිමිකරුගේ මීටර් 680ක් පමණ වූ භූමිය සඳහා වටිනාකම තක්සේරුව පිළිබඳ කාරණාවේ දී ය.
මෙම ඉඩම් කොටසේ වන්දිය පුද්ගලික තක්සේරුකරුවන් රුපියල් මිලියන 48කට අගයා තිබිණි. එහෙත් ආසියානු සංවර්ධන අරමුදලේ නිර්ණායක අනුව වන්දි තක්සේරුව රුපියල් මිලියන 9.6 ක් විය.
ගැටලුව පැන නැගුනේ ලංකා විදුලිබල මණ්ඩලය වන්දි ලෙස ගෙවීමට එකඟ වූයේ රුපියල් මිලියන 1.69 ක වන්දි මුදලක් පමණක් වීමය. ඉඩම් හිමියන් ප්‍රශ්න කර තිබුණේ විදුලිබල මණ්ඩලයේ මෙම හැසිරීමය.
මෙම ආරවුල ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවට යොමු කර තිබුණේ අගෝස්තු 08 වනදාය. අද විදුලිබල මණ්ඩලය සහ ඉඩම් හිමි පාර්ශවය මහජන උපයෝගීතා කොමිසමට කැඳවා තිබුණේ උක්ත ගැටලුවේ සමථකරණය සඳහාය.
මෙම සමථකරණය අවස්ථාවේ දි ඉඩමෙහි හිමිකරුවන් වන රත්නපුර ප්‍රදේශයේ ආටිගල පවුල විසින් රටේ වත්මන් විදුලි අවශ්‍යතාව පිළිබඳ සැලකිල්ල දක්වමින් පොදු ජනතාවට අපහසුවක් නොවන පරිදි අඛණ්ඩ විදුලි සැපයුමකට දායකවීම සඳහා අදාළ ඉඩම කිසිදු වන්දියකින් තොරව රජයට පරිත්‍යාග කිරීමට පළ කළේය.
මෙම එකඟතාව පිළිබඳ ගිවිසුමට අදාළ පවුලේ සමාජිකයින් සහ ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සමථකරණ මණ්ඩලය ඉදිරිපිටදී අත්සන් කළේය.
අදාළ සම්ප්‍රේෂණ රැහැන ඉදිකිරීම් කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට ද මෙම ගිවිසුම මගින් පහසුකම් සලසා ඇත.
ලංකා විදුලිබල මණ්ඩලයේ යෝජිත සැලැස්මට අනුව අදාළ විදුලි රැහැන මෙම පුද්ගලික ඉඩම හරහා ඉදිකිරීමට ද අවම උස මීටර් 20ක් තබා ඉදිකිරීමට ද පොළොව මට්ටමේ සිට මීටර් 16 දක්වා ගොඩනැගිලි ඉදිකිරීමට හා වගා කටයුතු කළ හැකි ආකාරයට රැහැන ඉදිකිරීමට ද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් පනවා ඇති විදුලි ආරක්ෂාව තත්ත්වය හා අඛණ්ඩතාවය පිළිබද රෙගුලාසිවලට යටත්ව රැහැන ඉදිකිරීමට ද මෙහිදී දෙපාර්ශ්වය විසින් එකඟ විය.
මෙම එකඟතාව අද දින සිට බලාත්මක විය.
ඉහත සම්ප්‍රේෂණ රැහැනට අදාළ ආරවුල නිරවුල් කිරීමේ කමිටුවෙහි සභාපතිවරයා වශයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ පාරිභෝගික කටයුතු අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රොෂන් වීරසුරිය ක්‍රියා කළේය. පළපුරුද්දක් ඇති බාහිර සාමාජිකාවක වශයෙන් නීතිඥ සී. එල්ලාවල සහ ඉංජිනේරු ගාමිණි සේනානායක කටයුතු කරන ලදී.
ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී, ඉංජිනේරු රොහාන් සෙනෙවිරත්න ප්‍රකාශ කළේ ආටිගල පවුලේ ආදර්ශමත් ප්‍රදානය හේතුවෙන් පොල්පිටියේ සිට හම්බන්තොට දක්වා විදුලි සම්ප්‍රේෂණ මාර්ගය සම්බන්ධයෙන් වූ ගැටලුව විසඳුන බවය. හෙට (12) ඉදිකිරීම් ආරම්භ කර දින 06ක් තුළ අවසන් කිරීමට බලාපරොත්තුවන බව ද සාමාන්‍යාධිකාරීවරයා පැවසුවේය.