වත්මන් පොලිස්පති ඩී.සී වික්‍රමරත්න ඉල්ලා තිබුණ වසරක සේවා දිගුව පිළිබඳ සලකා බලා එය මාස තුනක් දක්වා මුල් අදියරේ දී ලබා දීමට ජනාධිපතිවරයා විසින් තීරණය කර ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
ජනාධිපතිවරයා මේ සම්බන්ධව තීරණය ගෙන ඇත්තේ ආරක්ෂක ඇමති ටිරාන් අලස් සහ පොලිස්පති ඩී.සී. වික්‍රමරත්න ගෙන්වා සිදුකරන ලද දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව බව වාර්තා වේ.
ජනාධිපතිවරයා මෙම තීරණය ගනු ලබන්නේ මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති ටිරාන් අලස් බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා බවට පත්කරගැනීම සඳහා දැඩි උත්සාහය යෙදී සිටිනා පසුබිමක් තුළ වීම විශේෂයක් බව ජනාධිපතිවරයාට සම්බන්ධ ආරංචි මාර්ග පෙන්වා දෙයි.
මේ වනවිට පොලිස්පතිවරයා සම්බන්ධව රජය තුළ මත දෙකක් ඇති වී තිබෙන අතර සාගල රත්නායක ඇතුළු පාර්ශවයක් වත්මන් පොලිස්පති ඩී.සී.වික්‍රමරත්නට සේවා දිගුවක් ලබා දිය යුතු බවට වූ ස්ථාවරයේ පසුවේ.
අනෙක් පාර්ශවයට අයත් බැසිල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රමුඛ ප්‍රබල පොහොට්ටු කණ්ඩායමත්, වජිර අබේවර්ධන ඇතුළු පිරිසකුත් මෙම පත්කිරීමට එරෙහිව දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරය ලෙස පත්කර ගැනීමේ මෙහෙයුමක් අරඹා තිබේ.
එම මෙහෙයුම සඳහා ප්‍රධාන මාධ්‍ය ජාලා ද අවභාවිතා කරමින් ඇති බවට පසුගිය වකවානුව තුළ දැඩි විවේචන එල්ල වී තිබුණේය.
කෙසේ වෙතත් පොරයක් බවට පත් වී ඇති පොලිස්පති ධූර අපේක්ෂිත පාර්ශවයන් බරපතල බිඳීමකට ලක් නොකර සොයා ගත හැකි හොඳම විසඳුම වත්මන් පොලිස්පතිවරයාට හැකි උපරිම වාර ගණනක් සේවා දිගු ලබා දී ඒ අතර තුර ගැටලුව විසඳා ගැනිම බව රජයේ සැලසුම වී ඇතැයි දැනගන්නට ඇත.