දිනසේන රතුගමගේ –
යාපනයේ ධීවර සමීති නායකයින් පිරිසක් යාපනයේ සිටින නියෝජ්‍ය ඉන්දීය මහකොමසාරිස්වරයා සමග ඊයේ (22) පැය තුනක සාකච්ඡාවක් පවත්වා මේ දිනවල ඉන්දීය ධීවරයින්ගෙන් තම ධීවරයින්ට සිදුවන හානි වලට විසඳුමක් ඉල්ලා තිබේ.
නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් රකේෂ් නට්රාජ් ජෙයබාස්කරන් හමු වූ ධීවර නායකයින් ප්‍රකාශ කොට ඇත්තේ මේ සතියේදී ඉන්දියාවේ සිට ටෝලර් යාත්‍රාවලින් ඉන්දීය ධීවරයින් විශාල පිරිසක් පැමිණීම නිසා උතුරේ ධීවරයින්ට දැඩි පීඩාකාරී තත්ත්වයකට මුහුණ දීමට සිදු වූ බවයි.
පසුගිය 21 වෙනිදා පමණක් උතුරු මුහුදේ ඉන්දීය ධීවරයින්ට අයත් ටෝලර් යාත්‍රා 1000 කට වඩා වැඩි ප්‍රමාණයක් තිබූ බවත් මීට පෙර එක් දිනයකදී දැක ගත හැකි වූයේ ටෝලර් යාත්‍රා 700 ත් 800 ත් අතර ප්‍රමාණයක් පමණක් බවත් යාපනය ධීවර සමීති සමූහයේ සභාපති අන්නාලිංගම් අන්නාරාසා පෙන්වා දී තිබේ.
එසේ පැමිණි ඉන්දිය ධීවරයින් උතුරේ ධීවරයින්ගේ දැල් ආම්පන්නවලට හානි සිදුකළ බවත් ධීවරයින් විසින් අල්ලාගෙන සිටි මසුන් බලහත්කාරයෙන් කොල්ල කා පලාගිය බවත් ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස්වරයාට ප්‍රකාශ කොට තිබේ.
සතියේ සදුදා බදාදා හා සෙනසුරාදා යන දින වලදී ඉන්දීය ධීවරයින් විශාල වශයෙන් උතුරු මුහුදට පැමිණෙන බව ප්‍රකාශ කොට ඇති යාපනයේ ධීවර සමීති නායකයික් ඉන්දීය ධීවරයින් ඒ දිනවලදී හැසිරෙන්නේ ඔවුන්ට උතුරු මුහුද ලියවිල්ලක් මගින් ලියා දි ඇති අන්දමට බවද ප්‍රකාශ කොට තිබේ.
වහාම මේ පිළිබදව ඉන්දීය රජය හා ඉන්දීය ධීවර සමීති සමග සාකච්ඡා කොට යම් විසඳුමක් ලබා දෙන ලෙස යාපනයේ ධීවර සමීති නායකයෝ ඉල්ලීමක් කොට තිබේ.







