දිනසේන රතුගමගේ –
අධිකරණයේ ගොනුවී ඇති නඩු හතරක් විභාග කර අයිතිය පිළිබඳ තහවුරුවක් දෙන තුරු බෞද්ධ හින්දු දෙපාර්ශවයටම එක ලෙස වන්දනා කිරීමේ නිදහස අධිකරණ නියෝගයකින් ලබා දී තිබිය දී වවුනියාව නෙඩුන්කේණී වෙඩික්කුනාරීමලෙයි ප්‍රදේශයේ පිහිටි පුරාණ වඩ්ඪමාන පබ්බත විහාරයට ඊයේ (11) වැඩම කළ සංඝයා වහන්සේ පිරිසකට එම ස්ථානය හින්දු කෝවිලක් බව පවසමින් ස්ථාවර ගොඩනැගිලි සදාගෙන සිටින හින්දු පූජකවරුන් කණ්ඩායමක් බරපතල විරෝධතාවයක් එල්ල කර ඇති ආකාරය වාර්තා වේ.
කටාරම් සහිත පුරාණ ආරාම පන්තියකින් යුත් පුරාණ වඩ්ඪමාන පබ්බත විහාරය ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේදී පමණ කරවන්නට ඇති බවට ඒවායෙහි සඳහන් බ්‍රාහ්මී අක්ෂර සහිත සෙල් ලිපි හතරක් දක්වමින් විද්වත්හු සිය පර්යේෂණ ලේඛනවල මීට බොහෝ කාලයකට පෙර පෙන්වා දී තිබුණහ.
- මහ ශමුද පුත ගුතශ ලෙණෙ ශගශ පරුමක
මහා සමුද්‍ර ගේ පුත්‍ර ගුතගේ ලෙණ සංඝයාටය - බමදත පුත මහ ගුතහ ලෙණේ
ප්‍රමුඛ බමදතගේ පුත්‍ර මහගුනගේ ලෙණයි. - බත වුඩ තිශහ ලෙණේ
ස්වාමි වූ චූලතිශගේ ලෙණයි. - පරුමක පුශමිත පුතශ මහ ලෙණේ අගත අනගත චතුදිශ සගශ
ප්‍රමුඛ පුෂමිතගේ පුත්‍රයාගේ මහලෙණ පැමිණි නොපැමිණි සිවිදිග සංඝයාටය. -

වඩ්ඪමාන පබ්බත විහාරය…
ලෙන් වල කටාරම් ලිපි වශයෙන් දැකිය හැකි මෙම පාඨයන් අනුව අතීත බෞද්ධ ආරාම සංකීර්ණයක් පිළිබඳව ඇති තහවුරුව හා ජනවර්ගය කුමක් වුවද බෞද්ධයින් සහිත සමාජයක් අවට පැවති බවට එම පෞරාණික ලිඛිත සාධක මගින් ප්‍රමාණිකයෝ තහවුරු කර තිබුණහ.
මෙම භූමියේ පශ්චාත් යුද වකවානුව තුළ ඉදිකළ ශිව කෝවිල බෞද්ධ නටබුන් පරිසරයේ ගොඩනගමින් හින්දු පූජකවරු එම කෝවිල ආදි ලිංගේස්වර කෝවිල ලෙස නම් කර ස්වකීය පාරම්පරික පුරාණ පුදබිම මෙය බව ප්‍රකාශ කර තිබුණහ. අනතුරුව මෑත කාලය පුරාම එම කෝවිලේ පොංගල් උත්සව පවත්වමින් පුද පූජා පවත්වමින් පැමිණියහ.
ඊයේ එම පූජකවරු බෞද්ධ භික්ෂූන් වහන්සේලාට විරෝධය පල කළ තිබුණේ අධිකරණ නියෝගය ද කඩ කරමිනි. ඔවුන් ප්‍රකාශ කොට ඇත්තේ එම ස්ථානය පරම්පරා ගණනාවක්ම සිය මුතුන් මිත්තන් වන්දනාමාන කළ කෝවිලක් බැවින් භූමියට ඇතුළු නොවන ලෙසය.

මෙම කෝවිල සම්බන්ධයෙන් මීට වසර තුනකට ඉහතදී විශාල අර්බුදයක් හටගත් අතර දෙමළ ජාතික සන්ධානයේ සියළුම මන්ත්‍රීවරු එම ස්ථානයට ගොස් පුරා විද්‍යා නිලධාරීන්ට එරෙහිව විරෝධතාවයක් පවත්වන ලද්දේ එම භූමිය අයත් වන්නේ බෞද්ධයින්ට නොව හින්දු බැතිමතුන්ට බව පවසමිනි.
මේ අවස්ථාවේදී පුරා විද්‍යා නිලධාරීන් වවුනියාව මහාධිකරණයේ නඩුවක් ගොනු කරමින් එහි අයිතිය සම්බන්ධයෙන් නඩුවක් පවරන ලද අතර ඊට එරෙහිව කෝවිලේ පාලන අධිකාරියද නඩුවක් ගොනු කරණ ලදී.
මේ අකාරයට වවුනියාව අධිකරණයේ මේ ස්ථානයේ ආරවුල සම්බන්ධයෙන් නඩු හතරක් විභාග වන අතර ඒ සෑම නඩුවක් ආරම්භයේදීම දෙපාර්ශ්වයෙන් කිසිදු පාර්ශ්වයක් එම ස්ථානයේ ස්ථිර ගොඩනැගිලි ඉදි නොකරන ලෙසත් සංවර්ධන කටයුතු සිදු නොකරන ලෙසත් අධිකරණයෙන් නියෝග ලබී තිබිණි. එමෙන්ම එම ස්ථානයේ පුද පූජා පැවැත්වීමටත් එම ස්ථානය වැද පුදා ගැනීමටත් පමණක් දෙපාර්ශ්වයටම අවසර ලබා දී තිබිණි.








