හැටන් රංජිත් රාජපක්ෂ –
නුවරඑළිය මීපිළිමාන ප්‍රදේශයේ නිවසක් ආසන්නයේ පිරිමි පුද්ගලයෙකු තියුණු ආයුධයකින් අමානුෂික ලෙස කපා කොටා ඝාතනය කර සැකකරුවන් පලාගොස් ඇති බව නුවරඑළිය පොලිසිය පැවසිය.
මෙසේ තියුණු ආයුධයකින් පහර දි ඝාතනය කර ඇත්තේ මීපිලිමාන පිහිටි නිවසක සේවය කළ කොටහේන ප්‍රදේශයේ පදිංචි සුන්දරලිංගම් (අවු : 56 ) නැමති පුද්ගලයෙකි.
මෙම ඝාතනය ඊයේ (09) දින උදෑසන 05.30 ත් 06.00 අතර කාලයේ දී සිදු වි ඇති බවත්, පහරදීම සිදුකර ඇත්තේ නාදුනන කන්ඩායමක් විසින් සැලසුම් සහගත ලෙස බවත්, පහරදීම සිදුවන විට නිවස තුළ මියගිය පුද්ගලයාට අමතරව නිවසේ හිමිකාරිනියද රැඳී සිට ඇති බවත් පොලිසිය කියයි.
පහර දිමෙන් නිවසේ හිමිකාරිනියද තුවාල ලබා නිවසේ ජනේලයකින් පැන ගොස් අසල්වැසියන්ගේ සහයෝගය ඇතිව නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් වී ඇත.
ඇය මේ වනවිට නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය ප්‍රතිකාර ලබයි.
කාලයක් තිස්සේ පැවති ඉඩම් ආරවුලක් පදනම් කරගෙන මෙම පහරදීම හා මිනීමැරුම සිදුකර ඇති බවට නුවරඑළිය පොලිසිය සැක කරයි.
පහර දුන් පුද්ගලයන් සොයා ගැනීමට අපහසු වන අන්දමින් නිවස වටා භූමිතෙල් සහ මිරිස් කුඩු හලා ගොස් තිබේ.
තුළ තිබූ ඇදක්ද ගිනි තබා විනාස කර ඇති බවත්, නිවසේ ඉදිරිපස ජනෙල් දොරවල් වලට පහර දී ඒවා ද විනාශ කර සැලසුම් සහගතව මෙම පහරදීම හා මිනීමැරුම සිදුකර පලාගොස් ඇති බවත් නුවරඑළිය පොලිසියේ අපරාධ විමර්ශන අංශය සිදු කළ මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.
දීර්ඝ කාලයක් පුරාවට අදාල ඉඩමේ මුල් අයිතිකරුගෙන් නීති විරෝධී ලෙස ඉඩම හිමි කරගැනීමට එහි සේවය කළ රියදුරෙකු කටයුතු කිරීම සම්බන්ධව ඇතිවුණු ගැටලුකාරි තත්ත්වයක් පිළිබඳව පැමිණිලි කිහිපයක්ම නුවරඑළිය පොලිසිය වෙත ලැබී තිබු බව නුවරඑලිය පොලිසිය පැවසිය.
සිද්ධිය සම්බන්ධ ස්ථානීය පරීක්ෂණය නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත් නීතිඥ ඩබ්ලිව් .ආර්. විජය වික්‍රම විසින් සිදු කළ අතර, දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙස වැඩ බලන මහෙස්ත්‍රාත්වරයා නුවරඑලිය පොලිසියට නියෝග කළේය.