පසුගිය සෙනසුරාදා අවසන් ගමන් ගිය බ්‍රිතාන්‍යයේ එලිසබෙත් මහ රැජණගේ සැමියා වූ පිලිප් කුමරා එනම් එඩින්බරෝ ආදිපාදවරයා ශ්‍රි ලංකාවේ කලක් ගත කළ බව සඳහන් ලිපියක් පසුගියදා අප වෙබ් අඩවියේ පළ විය. නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි විසින් ලියූ ඒ සටහනේ ශ්‍රි ලංකාවේදී ඔහු පාවිච්චි කළ මෝටර් රථය පිළිබඳව ද සඳහන් කොට තිබුණි.
මේ වනවිට ගාලු මුවදොර හෝටලයේ රාජකීය කෞතුක භාණ්ඩයක් ලෙසින් සුරැකී ඇති මේ අපූරු මෝටර් රථය පිළිබඳව අප නොදන්නා කරුණු කිහිපයක් ගාලු මුවදොර හෝටලයේ හිමිකාර ගාඩිනර් පවුලේ වත්මන් ප්‍රධානියාවන සංජීව් ගාඩිනර් විසින් ද ඒඑෆ්පී පුවත් වෙත අනාවරණය කර තිබුණි. 1940 දී දෙවන ලෝක යුධ සමයේ බ්‍රිතාන්‍ය නාවික හමුදාවේ සාමාජිකයකු ලෙස පිලිප් කුමාරයා ශ්‍රි ලංකාවේ සේවය කොට ඇත. පිලිප් කුමාරයා එවකට පරිහරණය කළ මේ මෝටර් රථය ඔහු තම ජීවිතයේ මුල් වරට මිලදී ගත් මෝටර් රථය බවට එහිදී අනාවරණය කර තිබුණි. පිලිප් කුමරා මෙම මෝටර් රථය මිලදී ගෙන ඇත්තේ අලුත්ම මෝටර් රථයක් ලෙසින් නොව, මෙරට පාවිච්චි කළ මෝටර් රථයක් ලෙසිනි. එනම් සෙකන්ඩ් හෑන්ඩ් කාර් එකක් ලෙසිනි.
පසු කලෙක ශ්‍රි ලංකාවට පැමිණි විටෙක පිලිප් කුමරා ගාලු මුවදොර හෝටලයට විත් මේ වනවිට ගාඩ්නර් මහතා ගේ හිමිකාරීත්වය යටතේ පවතින මේ මෙ ඔස්ටින් 13 වර්ගයේ මොටර් රථය දැක බලා ගැනීමට හෝටලයට පැමිණ ඇත. එහිදි පිලිප් කුමරු ගාඩිනර් මහතාට පවසා ඇත්තේ වාහනයහි ” දැන් බ්‍රේක් හොඳට වැඩ කරනවා කියල මම හිතනවා. මම පාවිච්චි කරනකොට නම් මේ කාර් එකේ බ්‍රේක් හරියට වැඩ කළේ නෑ” කියා යි.
1935 වසරේ නිෂ්පාදිත මෙම මෝටර් රථය ඔහු විසින් මිලදී ගනු ලැබ ඇත්තේ පවුම් 12කටය. වාර්තාවලට අනුව පිලිප් තුමරුට එකවර මෙම මුදල ගෙවා වාහනය මිලදී ගත නොහැකි වී ඇති අතර ඔහු එකම මාසයක් තුළ දෙවරකට එම මුදල ගෙවා රථය මිලදී ගෙන ඇත.
ඔහු මේ මෝටර් රථයෙන් ගිය පළමු ගමන ලෙස වාර්තා වන්නේ කොළඹ සිට ත්‍රිකුණාමලයට ගිය ගමනයි. කිලෝ මීටර ලක්ෂයකට ආසන්න දුරක් ධාවනය කර ඇති මෙම ස්ටෑන්ඩර්ඩ් වර්ගයේ කාර් රථය සංජීව් ගාඩිනර් මහතාගේ පියාණන් වන සිරිල් ගාඩිනර් විසින් මිලදී ගනු ලැබ ඇත්තේද 1950 දශකයේ මුල් භාගයේදීය.