කීර්ති ප්රනාන්දු –
ඊයේ මහා සංඝයාවහන්සේ විසින් ආරාධනා කළ පක්ෂ නායක රැස්වීමට සහභාගී නොවුනේ සෙනසුරාදා දිනයට අදාල තමන්ගේ දිනපොතේ වැඩ සැලසුම් වී තිබුණු නිසා බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පැවසීය.
තම දිනපොත දින තුනකට කලින් සැලසුම් වන බවත් මේ රැස්වීම සඳහා ආරාධනාව ලැබුනේ බ්රහස්පතින්දා බවත් කී උදය ගම්මන්පිල පැය 48කට පෙර කරන ලද ආරාධනයකට අනුව සාකච්ඡාවලට සහභාගී වන්නේ කෙසේදැයි විමසා සිටියේය.
ඔහු මේ බව ප්රකාශ කළේ ඊයේ පැවැත්වූ මහා සංඝයාවහන්සේගේ ආරාධනයට අනුව දේශපාලන පක්ෂ නායකයන්ගේ රැස්වීමට බෞද්ධ උරුමය වෙනුවෙන් පෙනී සිටින පිවිතුරු හෙළ උරුමයේ නියෝජිතයෙක් හෝ සම්බන්ධ නොකළේ කුමක් නිසාදැයි ලංකාසර විමසූ විටය.
එහදී වැඩිදුරටත් අදහස් දක්වමින් උදය ගම්මන්පිල කිවේ මහා නායක හාමුදුරුවරු වැඩ සිටින්නේ හතර පොළක බවත්, උන්වහන්සේලා එක් තැනකට එක්වී සාකච්ඡා කිරීම සඳහා පක්ෂ නායකයන් නොකැඳවූ බවත්ය.
ආචාර්ය ඕමල්පේ සෝබිත හිමියන්නම් තමන්ට සාකච්ඡාවක් සඳහා ඇරයුම් කළ බව පැවසුවේය. ඒ සඳහා සහභාගී වන්නට ඉඩක් නොතිබුනේ තමන්ගේ වැඩ සැලසුම් සෙනසුරාදා දිනයට අදාලව සකස් වී තිබුණු නිසා බවත් කීවේය.
උදය ගම්මන්පිල මෙහිදී වැඩිදුරටත් පැවසුවේ තමන්ගේ දිනපොතේ වැඩ දින තුනකට පෙර සිට සකස් වන බවය.
එහෙත් මෙහිදී රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ සංඝ නායක ආචාර්ය ඕමල්පේ සෝබිත හිමි සහ මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි ඇතුළු එම හමුව සංවිධානය කළ නායක හිමිවරුන් පෙන්වා දුන්නේ ජනාධිපතිවරයාට මහා නායක හිමිවරුන් යැවූ ලිපියේ සඳහන් කරුණක් අනුව පක්ෂ නායක හමුව උන්වහන්සේලාගේ මග පෙන්වීම යටතේ සංවිධානය වූ බවය.
මහානායක හිමිවරුන්ගේ නියෝජිතයන් ලෙස මෙම සාකච්ඡාව පවත්වා එම අදහස් උන්වහන්සේලාට දැන්වීමේ වගකීම තමන්ට පවරා තිබුණු බව සියලුම පක්ෂ නායකයන්ට පැහැදිලිවම දැන්වූයේ යැයි ද එම සාකච්ඡාව සංවිධානය කළ නායක හිමිවරු පැවසූහ.
මෙම රැස්වීම සඳහා සිංහල බෞද්ධ උරුමය වෙනුවෙන් පෙනී සිටින බව කියන ජාතික නිදහස් පෙරමුණේ විමල් වීරවංශ මෙන්ම ප්රධාන දේශපාලන පක්ෂවන පොහොට්ටුව, එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය ඇතුළු පක්ෂ 15ක නියෝජිතයන් සහභාගී වී සිටියේ නැත.