මනම්පිටිය නිමල් ජයරත්න –
විද්‍යාලයට පවතින ගුරු හිඟයට වහා විසඳුම් දෙන ලෙසට බල කරමින් වැලිකන්ද ගල්තලාව හරහා අරලගංවිල දක්වා දිවෙන ප්‍රධාන මාර්ගය යතුරුපැදි, පාපැදී ,ලි කොට, දමා හරස් කර මාර්ගයේ බිම වාඩි වී අවහිර කරමින් ටයර් පුළුස්සා ගල්තලාව ඇතුළු ගම්මාන කිහිපයක දෙමව්පියෝ ගල්තලාව විද්‍යාලය ඉදිරිපිට අද 22 වෙනිදා විරෝධතාවයක නිරත වූහ.
ගල්තලාව ප්‍රාථමික විද්‍යාලය 1 වසරේ සිට 5 වසර දක්වා දරුවන් 80 කට ආසන්න සංඛ්‍යාවක් අධ්‍යාපන ලබන පාසලකි.
පාසල සඳහා ගුරුවරුන් 06 දෙනෙකු අවශ්‍ය වුවද, දැනට සිටින්නේ විදුහල්පතිවරයා සමග ගුරුවරුන් හතර දෙනකු පමණක් බවත්, ඉංග්‍රීසි විෂයට මෙන්ම 22 වෙනිදා පළමු වසරට භාරදුන් දරුවන්ට ඉගැන්වීමට ගුරුවරුයෙකු නොමැති බව දෙමව්පියෝ පවසති. ගොවි දරුවන් ඉගෙන ගන්නා තම පාසලට ගුරුවන් ලබාදීමේදී කුඩම්මාගේ සැලකිලි දක්වන බවද මෙහිදී විරෝධයේ නිරත මවුපිවරු චෝදනා කළහ.
1988 පෙබරවාරි 19 වෙනිදා ආරම්භ කළ ගල්තලාව කනිෂ්ඨ විද්‍යාලය, සිසුන් හාරසියයකට වැඩි ප්‍රමාණයක් අධ්‍යාපනය ලැබු පාසලක් බවත්, මෙම පාසලෙන් උපාධිධාරී ගුරුවන් මෙන්ම විවිධ රාජ්‍ය නිලධාරීන් බිහිවුන බවත්, 1999 වසරේ දී විදුහල ප්‍රාථමික විද්‍යාලයක් බවට නම් කරමින් සිටිනා ගුරුවරුන්ටද ස්ථාන මාරු ලබා දුන් බවත් උද්ඝෝෂකයෝ පැවසූහ.
පාසල් සංවර්ධන සමිතියේ ලේකම් පී.ඩ්බ්ලිව්.ජී.චමින්ද ජයරත්න සඳහන් කරන්නේ පාසල වසා දැමීමේ කුමන්ත්‍රණයක් ඇතිදැයි සැක සිතන බවය.
මෙම විරෝධතාවය ගල්තලාව ප්‍රාථමික විද්‍යාලය ඉදිරිපිට පැය දෙකකට ආසන්න කාලයක් පවතින අතරතුර අරලගංවිල වැඩ බලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්.එම්.ජී.එස්, කුලතුංග ඇතුළු පොලිස් නිලධාරින් කණ්ඩායමක් පැමිණ විරෝධතා කරුවන්න්ට මග අවහිර නොකර මාර්ගයෙන් ඉවත් වන ලෙසට ඉල්ලීමක් කළේය.
එහිදී මවුපියන් සඳහන් කළේ අදාළ බලධාරියකු සම්බන්ධ කර ගුරු හිඟයට විසඳුමක් ලබා දෙන තුරු තමන් විරෝධතාවයක් නොහරින බවයි. නිසි විසඳුමක් ලබාදෙන තුරු තමන් විරෝධතාවය අත් නොහරින බවයි.
ඒ අනුව වැඩ බලන පොලිස් පරීක්ෂක ආර්.එම්.ජී.එස්, කුලතුංග උතුරු මැද පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ බලධාරියෙකු දුරකථනයෙන් සම්බන්ධ කරගනිමින් ගුරු හිඟයට සාකච්ඡාවක් කර ඊට පිලියමක් ලබාදීමේ පොරොන්දුව මත විරෝධතාකරුවෝ විරෝධය අවසන් කර පොළොන්නරුවේ පිහිටි උතුරු මැද පළාත් කාර්යාලයට පිටව ගියහ.