-
මහවැස්ස සුළං මැද්දදේ බෝට්ටුව ගල් පරයක වැදී කුඩු වුණා…
-
කිලෝ මීටර් දෙකක් පීනුවා… කිලෝ මීටර 10ක් කැලෑවේ ඇවිද්දා…
-
වනජීවී නිලධාරීන්ට හම්බවෙනකොට හොඳටම හෙම්බත් වෙලා..
සුසන්ත අමරබන්දු, පානම දීනේෂ් චන්ද්‍රපාල –
කුමන මෝය අසන්නේය 03 වනදා රාත්‍රියේ ගල් පරවල වැදී බහුදින ධීවර යාත්‍රාවක් දෙකට කැඩ් බිදී ගොස් එහි සිටි ධීවරයන් 06 දෙනෙකු මුහුදට පැන ගොඩබිමට පිහිනා දිවි ගලවා ගෙන තිබේ.
මෙලෙස දිවි ගලවා ගෙන ඇත්තේ ගාල්ල ප්‍රදේශයේ පදිංචි ධීවරයන් පිරිසකි.
මෙසේ අනතුරට ලක්ව තිබෙන්නේ ජනවාරි මස 17 වන දින මසුන් ඇල්ලීම සඳහා ගාල්ල වරායෙන් මුහුදු ගිය බහු දින යාත්‍රාවකි. මෙය ගාල්ල ප්‍රදේශයේ පි.එච්. දිනුක නැමැත්තාට අයත් යාත්‍රාවකි. මෙම පිරිස ත්‍රිකුණාමලය මු හුදු ප්‍රදේශයට ගොස් මසුන් අල්ලා නැවතත් යන අතරවාරයේදී කුමන මෝය කට ආසන්නයේදී මුහුදු වෙරළේ සිට කිලෝමීටර් දෙකක් පමණ දුරින් පිහිටි ගල් පර්වතයක යාත්‍රාව වැදී තිබේ. අනතුරුව යාත්‍රාව කැබලි වී ගොස් ඇත.
එම අවස්ථාවේදී දැඩි වැස්සක් සහ දැඩි සුළගක් තිබිම නිසා ධීවරයන්ට යාත්‍රාව පාලනය කර ගැනීමට නොහැකිව මෙම අනතුර සිදුව තිබේ. අනතුරට ලක්වන අවස්ථාවේ දී ආරක්ෂිත කබා පැලඳ සිටි ධීවරයන් පිරිස මුහුදට පැන කිලෝමීටර් දෙකක් පමණ පිහිනා ගොඩබිමට ගොස් දිවි ගලවා ගෙන ඇත.
මෙම දිවි ගලවාගත් පිරිස කුමන වනාන්තරයට පැමිණි තිබෙන අතර කිලො මීටර් 10, ක් පමණ වනන්තරයේ ඇවිද ගොස් තිබේ. වනජීවී නිලධාරීන්ට මෙම පිරිස හමුවන්නේ 04 වනදා උදෑසනය.
වන ජිවි නිලධාරීන් එම ධීවරයන් වනජීවී කාර්යාලයට රැගෙන ගොස් ඒ බව පානම පොලිස් ස්ථාන වෙත දැනුම් දී තිබේ. එම පිරිස 4 වෙනිදා හවස පානම පොලිස් ස්ථානය වෙත කැඳවාගෙන ගොස් ඇත.
එම පිරිසෙන් පස් දෙනෙකු පමණ ගාල්ල බලා පිටත්ව ගොස් ඇති අතර ඉතිරි ධිවරයා අද ගාල්ල ප්‍රදේශය බලා පිටත් වීමට නියමිතව තිබුණි.
අනතුර වන අවස්ථාවේ එම යාත්‍රාවේ අල්ලන ලද මාළු කිලෝ දෙදහස් පන්සීයකට පමණ තිබූ බවත් යාත්‍රාවේ කැඩී ගිය කොටස් විටින් විට වෙරළට ගසා ගෙන එන බවත් පැවසේ.