සුමිත් පොතුපිටිය –
පානදුර දුම්රිය ස්ථානයේ දුම්රිය සේවකයින් සහ තවත් පිරිසක් අතර අද ඇතිවූ ගුටිබැට හුවමාරුවකින් දුම්රිය ස්ථානාධිපති (මෙහෙයුම්), දුම්රිය සේවකයකු සහ තවත් පුද්ගලයකු රෝහල් ගතකර ඇති බව පානදුර රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
පානදුර දුම්රිය ස්ථානයේ දී පුද්ගලයන් සිව් දෙනෙකු සහ දුම්රිය කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකු අතර අද ගුටිබැට හුවමාරුවකින් පසු මෙසේ රෝහල් ගතකර ඇති බව සඳහන් වේ.
දුම්රිය සේවකයින්ට පහරදීම සම්බන්ධයෙන් පිය පුතු දෙපලක් අත්අඩංගුවට ගෙන ඇති බවත් පුත්‍රයා පොලිස් ආරක්ෂාව යටතේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් පානදුර දකුණ පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර සාගර මාවතේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයකු සහ 23 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කීය.
ප්‍රවේශපත්‍ර ලබාගැනීමේ ඇතිවූ කතාබහක් මුල්කර ගනිමින් දෙපිරිස අතර ගුටිබැට හුවමාරුවක් සිදුව ඇති බව සඳහන් වේ.
සැකකරුවන් විමර්ශන කටයුතු නිමාවෙන් පසු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි .
ජේෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ , සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්නගේ උපදෙස් පරිදි ස්ථානාධිපති (වැබ) ප්‍රධාන පොලිස් පරීක්ෂක චමිල නිස්සංක ගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පැවැත්වෙයි.