ජයකාන්ත ලියනගේ – බළපිටිය –
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන අම්බලන්ගොඩ, ඉඩන්තොට පදිංචි අගම්පොඩි සජිත් සමන් ප්‍රියන්ත (26) නොහොත් ‘සමන් කොල්ලා’ නමැති අයගේ නිවසට වෙඩි ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අම්බලන්ගොඩ පොලීසිය මගින් අද (17) දහවල් අත් අඩංගුවට ගෙන තිබේ.
සැකකරු අද (17) සවස බළපිටිය වැඩ බලන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ වෙලපාර, ගලගොඩ, කුලීගොඩ පදිංචි වන්නිආරච්චි කංකානම්ගේ හරිස් ශ්‍රී ජයමාල් නැමැති 19 හැවිරිදි තරුණයෙකි.
සැකකරු මෙම වෙඩි ප්‍රහාරය එල්ල කිරීම සඳහා ඔත්තු බලමින් වෙඩික්කරුවන්ට සහය වී තිබෙන බව පොලිස් පරීක්ෂණවලදී තහවුරු වූයේ යැයි අම්බලන්ගොඩ පොලීසිය කියයි. මෙම වෙඩි ප්‍රහාරය ‘සමන් කොල්ලා’ නැමැති අය විසින්ම සැලසුම් සහගතව සිදුකර ගන්නා ලද්දක්ද යන්න සම්බන්ධයෙන් ලැබුණ තොරතුරු මතද වැඩිදුර විමර්ශණ සිදුකරන බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.
ඉකුත් 14 දින අළුයම එල්ල කරන ලද මෙම වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලීසිය, ඇල්පිටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය හා ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය පරීක්ෂණ පවත්වන බවද අම්බලන්ගොඩ පොලීසියේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
‘සමන් කොල්ලා’ නැමැති අය විදේශ ගත වී සිටින බවට ඇතැමුන් ප්‍රකාශ කළත් ඔහුගේ නම හෝ ජාතික හැදුනුම්පත ඔස්සේ නීත්‍යානුකූලව විදේශ ගත වි නොමැති බවත් එම ප්‍රචාරය පොලීසිය නොමග යෑවීම සදහා කරන්නක්ද යන්න සම්බන්ධයෙන්ද පොලීසියේ අවධානය යොමු වී තිබෙන බවත් එම ප්‍රකාශකයා වැඩි දුරටත් සදහන් කළේය.
මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති නිවසේ ‘සමන් කොල්ලා’ නැමැති අයගේ බිරිය, තවත් කාන්තාවක් සහ ළමයින් සිට ඇති අතර ඔවුන්ට කිසිදු අනතුරක් සිදුව නොමැති බවත් නිවසට වෙඩි ප්‍රහාරයන් දහයක් පමණ එල්ල කර ඇති බවත් පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. මෙම වෙඩි ප්‍රහාරයෙන් නිවසේ තාප්පයට හා දොර ජනෙල් වලට හානි සිදුව තිබෙන බවත් එක් වෙඩි පහරක් අසල නිවසක ජනේලයකටද වැදී තිබෙන බවත් අම්බලන්ගොඩ පොලිසිය කියයි.
ගලගොඩ ද්විත්ව ඝාතනය
අම්බලන්ගොඩ, ගලගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක් තුළ දී පසුගිය 11 වන දින රාත්‍රි 8.50 ට පමණ ටී – 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙක් ඝාතනය කර තවත් පුද්ගලයින් තිදෙනෙකුට බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධියට ‘සමන් කොල්ලා’ නැමැති අයගේ සම්බන්ධයෙක් තිබෙන බවට පොලීසියට ලැබුණ තොරතුරක් මත පරීක්ෂණ පවත්වන බවද පොලීසිය කියයි.
යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් කරන ලද මෙම වෙඩි තැබීමෙන් අම්බලන්ගොඩ, ගලගොඩ පදිංචි සිතුම් සංජන හෙවත් ‘සුදූ’ නමින් හඳුන්වන 22 හැවිරිදි වෙළදසැලේ හිමිකරු ලෙස කටයුතු කළ තරුණයෙක් හා හලඹ උදේෂ් මධුරංග මෙන්ඩිස් (26) නැමැති තරුණයෙක් මිය ගියේය. මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ තිදෙනා බලපිටිය හා කරාපිටිය රෝහල් වල ප්‍රතිකාර ලබන බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.
කුමන හේතුවක් මත මෙම වෙඩි තැබීමක් කර ඇද්ද යන්න සම්බන්ධයෙන් පොලීසියේ අවධානය යොමුව තිබෙන බවත් මියගිය පුද්ගලයින්ට අපරාධ චෝදනා නොමැති බවත් අම්බලන්ගොඩ පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.